Home » රටේ පැවැත්ම රැඳී තිබෙන්නේ කෘෂිකර්මාන්තය ආරක්ෂා වන තරමටයි කවර ගැටලු තිබුණත් වී ගොවියා රැකගනිමු – මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන

රටේ පැවැත්ම රැඳී තිබෙන්නේ කෘෂිකර්මාන්තය ආරක්ෂා වන තරමටයි කවර ගැටලු තිබුණත් වී ගොවියා රැකගනිමු – මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන

by sachintha
March 14, 2024 1:28 am 0 comment

මොන ප්‍රශ්න තිබුණත් මේ රටේ කෘෂිකර්මාන්තය ආරක්ෂා කරගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවසීය. රටේ පැවැත්ම රැඳී තිබෙන්නේ කෘෂිකර්මාන්තය ආරක්ෂා වන ආකාරය මත වන බැවින් වී අලෙවි මණ්ඩලයට වී මිල දී ගැනීමට ඇති හැකියාව ශක්තිමත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද ඔහු කීය. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේදී ඊයේ (13) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

දේශපාලන වාසි අපේක්ෂාවෙන් තම පක්ෂය මේ වන විට කඩාවැටීමට ලක්ව තිබෙන බවට ඇතැමුන් පැවසුවත් බිම් මට්ටමේ සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් එලෙසින්ම සිටින බව පැවසූ ඒ මහතා ඇතැම් දේශපාලන පක්ෂවල රැස්වීම් සඳහා සෑම ප්‍රදේශයකින්ම ජනතාව රැගෙන ගොස් සෙනඟ පෙන්නා මාධ්‍ය සන්දර්ශන පවත්වන නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එවැනි මාධ්‍ය සන්දර්ශන නොපවත්වන බවත්, ගම් මට්ටමේ සියලු සංවිධාන කටයුතු හරියාකාරව කරගෙන යන බවත් ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා:

“මේ මාස් කන්නයේ වී අස්වැන්න වෙළෙඳපොළට විශාල වශයෙන් එන වෙලාවක්. ඒත් වී අලෙවි මණ්ඩලයට වී මිල දී ගන්න මුදල් නැති බව මාධ්‍යවල පළ වී තිබෙනවා මා දැක්කා. එය කනගාටුදායක තත්ත්වයක්. වී අලෙවි මණ්ඩලය පිහිටුවූයේ මේ රටේ ගොවි ජනතාවගේ ඒ ධාන්‍ය වර්ග, වී මිල දී ගැනීමේ අරමුණින්. අද වන විට වී අලෙවි මණ්ඩලයට වී මිල දී ගන්න මුදල් නැති නම් එය ගොවිජනතාවට කරන ලොකුම අසාධාරණයක්.

“ඒ වගේම මේ වන විට වී මෝල් හිමියන් විශාල වශයෙන් ඒකාධිකාරයක් ගොඩනඟාගෙන ඉන්නවා. ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක්. පහුගිය කාලයේ නියඟය නිසා සහ ආර්ථික ප්‍රශ්න නිසා ගොවිතැන අඩාළ වෙලා තිබුණා. ගොවි ජනතාව මේ මාස් කන්නයේ නොයෙකුත් දුක්ගැහැට විඳලා, නොයෙකුත් අපහසුකම් මැද තමයි ගොවිතැන් කර තිබෙන්නේ. ඒ නිසා අපි රජයෙන්, භාණ්ඩාගාරයෙන් ඉල්ලා සිටිනවා අනෙක් කරුණු පැත්තකට දාලා, වී අලෙවි මණ්ඩලයට මුදල් දීලා වී මිල දී ගැනීමේ තරගකාරි තත්ත්වයක් වෙළෙඳපොළේ ඇති කරන්න කියලා.

“අද වන විට ලොකු ලූනුත් පිටරටින් ගේන්න වෙනවා. එහෙත් අපේ රටේ විශාල වශයෙන් ලොකු ලූනු වගා කළා අපේ රටට ඇති වෙන්න. අද වන විට ලොකු ලූනු වගාවෙන් සම්පූර්ණයෙන්ම ගොවි ජනතාව ඈත් වෙලා. එයට හේතුව තමයි නියම ප්‍රතිපත්තියක් නැතිකම. වී මිල දී ගැනීම මඟහැරියොත් ලොකු ලූනුවලට වෙච්ච දේම තමයි සහල්වලටත් වෙන්නේ. ඒ නිසා අප ඉල්ලා සිටිනවා මොන ප්‍රශ්න තිබුණත් මේ රටේ කෘෂිකර්මාන්තය ආරක්ෂා කරන්න. එහෙම කළොත් තමයි අපේ රටේ පැවැත්ම තිබෙන්නේ; ඒ වගේම ගොවි ජනතාවට ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ වී මිල දී ගැනීමට වහාම කටයුතු කරන්න, වී අලෙවි මණ්ඩලයට වී මිල දී ගැනීමට ඇති හැකියාව ශක්තිමත් කරන්න කියලා කියලා ඉල්ලා සිටිනවා.”

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT