Home » ජනතාව නව පිබිදීමකින් එජාපය වටා එක්රොක් වන බව ‘සැබෑව’ පෙන්නුවා

ජනතාව නව පිබිදීමකින් එජාපය වටා එක්රොක් වන බව ‘සැබෑව’ පෙන්නුවා

by sachintha
March 14, 2024 1:31 am 0 comment

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ

 

ජනතාව අලුත් පිබිදීමකින් එක්සත් ජාතික පක්ෂය වටා එක් රොක් වන බව කුලියාපිටියේ පැවති එක්සත් ජාතික පක්ෂයේ ‘සැබෑව’ ජන රැලියෙන් පෙනී ගිය බව එක්සත් ජාතික පක්ෂයේ මිණුවන්ගොඩ ආසන සංවිධායක, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පෙරේදා (12) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේය.

“කුලියාපිටියේදී පැවති ‘සැබෑව’ ජන රැලිය ජනාධිපතිවරයා වසර දෙකකට පසු එක්සත් ජාතික පක්ෂයේ මහජන රැලියක් ආමන්ත්‍රණය කළ පළමු අවස්ථාව හැටියට සලකන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් වගේම සමඟි ජන බලවේගය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ හිටපු සාමාජිකයන් විශාල පිරිසක් අප සමඟ එකතු වුණා. ඉදිරියේදී තුනෙන් දෙකක ප්‍රමාණයක් දක්වා එය විහිදී යයි කියා අප විශ්වාස කරනවා.

මහ මැතිවරණයේදී සමඟි ජන බලවේගය ගත්තේ ඡන්ද ලක්ෂ 27ක් පමණයි. ඒ නිසා ජනාධිපතිවරණයේ තිබූ සියයට හතළිස් එකක ප්‍රතිශතය සියයට විසි තුනට අඩු වුණා. සියයට විස්සට වඩා වැඩි ප්‍රමාණයක් ඡන්ද පොළට ආවේ නෑ. ඒ ඡන්ද පොළට ආවේ නැත්තේ පක්ෂය කැඩෙනවාට විරුද්ධ පිරිස බව අපි දන්නවා. ඒ අනුව අද වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ නව පිබිදීමක් සමඟ ඡන්ද ලක්ෂ හතළිහක පමණ ප්‍රමාණයක් තිබෙනවා. තම දරුවන්ගේ අනාගතය ගැන කල්පනා කරන ජනතාව හොඳාකාරවම දන්නවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට තමයි දරුවන්ගේ අනාගතය හොඳින් නිර්මාණය කළ හැකි වන්නේ කියලා. ජනාධිපතිවරයා රට සහ ජනතාව දිහා බැලුවේ පක්ෂ සහ පාට කණ්ණාඩිවලින් තොරවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේ ගුරුවරුන් පත් කර දුෂ්කර සේවයට ගුරු මාරු ක්‍රමයක් ඇති කර සෑම කෙනකුටම අධ්‍යාපනය ලබා ගැනීමේ උරුමය දුන්නා. මන්ත්‍රීවරුන් විසින් ගුරු පත්වීම් දෙන ක්‍රමවේදය 1982දී වෙනස් කළා. තරග විභාගයක් පවත්වා උසස් පෙළ සමතුන් ගුරුවරුන් ලෙස බඳවා ගැනීම සිදු කළා. විශ්වවිද්‍යාලයට යන්න බැරි වුණ අය විද්‍යා පීඨ හරහා බඳවා ගැනීම සිදු කළා. එම විද්‍යා පීඨ විශ්වවිද්‍යාල බවට පත්කිරීමේ වැඩසටහන දැන් ආරම්භ වෙලා තිබෙනවා. පාසල් දරුවන්ට නොමිලේ ආහාර දුන්නා. පොත්පත් නොමිලේ දුන්නේ ඔහුගේ සංකල්පයක් අනුව. ළමයින්ට සපත්තු දුන්නේ ඔහු අගමැති සහ ජනාධිපති වෙන කාලයේදී. ඔහු හැමදාම ආයෝජනය කළේ වර්තමාන සහ අනාගත දරු පරම්පරාව වෙනුවෙනුයි. විශේෂයෙන්ම විවෘත විශ්වවිද්‍යාලය ආරම්භ කර අද වෙද්දී සෑම දිස්ත්‍රික්කයකම වගේ එහි ශාඛා ස්ථාපිත කර තිබෙනවා. සුරක්ෂා රක්ෂණ ක්‍රමය ආරම්භ කර ලක්ෂ දෙකකට වඩා ප්‍රතිලාභ දරුවන්ට ලැබෙන ආකාරයට එය නිර්මාණය කළා. ටැබ් පරිගණක දෙන්න හැදුවත් ඒ සමයේ හිටපු අයගෙ අත්තනෝමතික ක්‍රියාකලාප නිසා එය වැළැක්වුණා. ලක්ෂ 43ක් වන ශිෂ්‍ය ප්‍රජාව ගැන කල්පනා කරන වෙන නායකයෙක් මේ රටේ බිහිවෙන්නේ නෑ.

රනිල් වික්‍රමසිංහ මහතා ගිනි ගත් රටේ ගිනි ගොඩ මැදට පැනලා නිවා දැමුවයි කියන එක අපි මතක තබා ගත යුතුයි. ඒ මහතාගේ නිවෙසට පවා ගිනි තිබ්බා. නමුත් ඒ මහතා හැංගිලා හිටියේ නෑ, එයට මුහුණ දුන්නා. එක්සත් ජාතික පක්ෂයේ හැටි එහෙමයි. එහි නායකයන්ගේ හැටි එහෙමයි. ඕනෑම ආපදා වෙලාවක ඔවුන් ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. එදා අරගලය වෙලාවෙදීත් සජිත් ප්‍රේමදාස මහතාට ගල් මුල්වලින් බේරිලා යන්න සිද්ධ වුණා. අනුර කුමාර දිසානායකටත් පැනලා දුවන්න වුණා. ඔවුන්ට තේරුණා අගමැතිකම භාරගෙන මේක කරගෙන යන්න වෙන්නේ නෑ කියලා. තමන්ගේ හෙට දවස වෙනුවෙන් ආයෝජනය කරන්න අවශ්‍ය නම් කා එක්කද හිටගන්න ඕනෙ කියන එක ජනතාව දන්නවා.”

ශිරෝමි අබයසිංහ සහ මැද කොළඹ සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT