ගේබ්‍රියෙල් ගාර්ෂියා මාකේෂ් තම ජීවිත කාලයේදී කෘතීන් කවර ගණනක් රචනා කළ ද කාන්තාවක් මූලික කර ගනිමින් නවකතාවක් ලිවීම ආරම්භ කරනු ලැබුවේ මෙම කෘතියෙනි. ස්පාඤ්ඤ භාෂාවෙන් ලියා තැබූ මෙම නවකතාව අවසන් කරනු ලැබුවේ 2004 වසරේ අගභාගයේදීය. මේ සමය වන විට ඔහුට මතකය නිසි ආකාරයෙන් නොතිබූ අතර, ඇල්සයිමර් රෝගී තත්ත්වයෙන් පීඩාවිඳිමින් සිටියේය. විවාහක මැදිවියේ කාන්තාවකගේ රහසිගත ලිංගික ජීවිතය පදනම් කර ගනිමින් නවකතාව නිර්මාණය කළ හේ සංස්කරණය කිරීම් පස්වතාවක් හෝ සිදු කර ඇති බව The newyork times පුවත් අඩවිය සඳහන් කර තිබිණි.
විවාහක මැදිවියේ කාන්තාවක වූ ඇනා මග්දලේනා තම මවගේ සොහොන වෙත සෑම ගිම්හානයකම යන්නීය. මෙකී මැදිවියේ කාන්තාව සතුටුදායක විවාහක ජීවිතයක් ගත කළ ද ඇය යන සෑම සංචාරයකදීම නව පෙම්වතකු සමඟ යාමට අමතක නොකළාය. ඇනා, කැරිබියන් දූපතේ පිහිටි මවගේ සොහොන නැරැඹීමට යන්නේ වාර්ෂික වන්දනා ගමනක් මෙනි.
ඉහතින් සඳහන් වූයේ ගේබ්‍රියෙල් ගාර්ෂියා මාකේෂ්, තම ජීවිතයේ අවසාන භාගයේදී ලියා තැබූ ‘Until August’ නවකතාවේ සුළු සාරාංශයකි. ඔහු තම ජීවිත කාලයේදී කෘතීන් කවර ගණනක් රචනා කළ ද කාන්තාවක් මූලික කර ගනිමින් නවකතාවක් ලිවීම ආරම්භ කරනු ලැබුවේ මෙම කෘතියෙනි. ස්පාඤ්ඤ භාෂාවෙන් ලියා තැබූ මෙම නවකතාව අවසන් කරනු ලැබුවේ 2004 වසරේ අගභාගයේදීය.
මේ සමය වන විට ඔහුට මතකය නිසි ආකාරයෙන් නොතිබූ අතර, ඇල්සයිමර් රෝගී තත්ත්වයෙන් පීඩාවිඳිමින් සිටියේය. විවාහක මැදිවියේ කාන්තාවකගේ රහසිගත ලිංගික ජීවිතය පදනම් කර ගනිමින් නවකතාව නිර්මාණය කළ හේ සංස්කරණය කිරීම් පස්වතාවක් හෝ සිදු කර ඇති බව The newyork times පුවත් අඩවිය සඳහන් කර තිබිණි. මේ අතරවාරයේ වාක්‍ය කපාදැමීම්, වෙනස් කිරීම් මෙන්ම විශේෂණයන් වෙනස් කිරීමේ කටයුතු නියම කර තිබුණේ තම සහායකයාටය. එහෙත් අවසාන මොහොතේදී ගාර්ෂියා මාකේෂ් කිසිවෙකුත් විශ්වාස නොකළ තීරණයකට පැමිණියේය.
එනම් ඔහුගේ අවසන් තීරණය වූයේ කිසිඳු විටක මෙය ප්‍රකාශයට පත් නොකළ යුතු බවයි. ඔහු තම බාලපුත්‍රයා වන ගොන්සාලෝ ගාර්ෂියාට පැවැසුවේ ‘නවකතාව විනාශ කළ යුතුය’ යන්නයි. එහෙත් පසුගිය සතියේ ගේබ්‍රියෙල් ගාර්ෂියා මියයාමෙන් දශකයකට පසු එය ප්‍රකාශයට පත්වීමත් සමඟ ලොව පුරා එය ව්‍යාප්තව ගිය පුවතක් බවට පත්විය.
ගාර්ෂියා මාකේෂ්
මාකේෂ්ගේ උප්පත්තිය සිදු වූයේ කොළොම්බයාහි අරකාටකාහිදීය. ඔහුව බොහෝදෙනෙක් හැඳින්වූයේ Gabo යන නමිනි. 1927 මාර්තු 6 වැනිදා උපන් ඔහුගේ පියා ඖෂධවේදියෙකු වූ අතර, දිගු කාලයක් මවගේ සෙනෙහස ලැබීමට තරම් ගැබෝ වාසනාවන්තයකු නොවීය. ඔහුගේ ජීවන නවකතාව ඇරඹුණේ කුඩා කාලයේදීම තම මව ඔවුන්ව හැරදමා යාමත් සමඟිනි. එතැන් පටන් ඔහුගේ තනි නොතනියට උන්නේ ආච්චි සහ සීයාය.
බොහෝදෙනෙකු Gabo ලෙස හැඳින්වූ මාකේෂ් තම අධ්‍යාපනය ලබා ගන්නේ කාටජීනා විශ්වවිද්‍යාලයෙනි. ලිවීම, තම තීරණාත්මක සාධකය වන බවට ඉඟි පළ කරමින් වයස අවුරුදු දහඅටේ පටන් ලිවීම ආරම්භ කළ අතර, තම පළමු පොත ලෙසින් ලියා එළි දැක්වූයේ ඔහුගේ ජීවිතය මත පදනම් වූ තොරතුරුය.
ඔහු එහි ලියා තැබුවේ පැරණි නිවසක තම ආච්චි හා සීයා සමඟ ජීවත්වන අයුරුය. ඉන්පසු ඔහු තම ජීවන ගමන ආරම්භ කරනු ලැබුවේ මාධ්‍යවේදියකු ලෙසයි. මාධ්‍යවේදියකු ලෙස තම කටයුතු ආරම්භ කිරීමත් සමඟ ඔහු ප්‍රබන්ධ නොවන කෘති මෙන්ම කෙටිකතා රාශියක් ද ලියා තබන්නට විය.
තම ජීවිත කාලය තුළ ඔහු ලියා ඇති කෘතීන් අතරින් වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ මෙන්ම ඔහු පිළිබඳ කතිකාවක් ඇති වූයේ One hundred years of solitude, The Autum of the patriarch” chronicle of a death Foretold සහ Love in the time of cholera වැනි නවකතා සඳහාය. ඔහුගේ ලිවීමේ සාර්ථකත්වය ඔහුට අත්විඳින්නට හැකිවූයේ 1982 දී නොබෙල් ත්‍යාග දිනාගැනීමත් සමඟිනි. මාකේෂ් විසින් රචිත නිර්මාණයන් ඇසුරින් චිත්‍රපට ගණනාවක් ද නිෂ්පාදනය වී ඇති අතර, චිත්‍රපට කිහිපයක පිටපත් රචනය ද ඔහු විසින් සිදු කරන ලදි. ඔහුගේ බොහෝසෙයින් ජනප්‍රියත්වයට පත් නවකතාවක් වූයේ Love in the time of cholera ය. 2007 වර්ෂයේදී එය ද චිත්‍රපටයක් බවට ද පත්විය.
මාකේස් තමාගේ ප්‍රේමවන්තිය තෝරාගනු ලැබුවේ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබනා විටය. ඔවුන් දෙදෙනා 1958 දී විවාහ වූ අතර, පුතුන් දෙදෙනෙකු ඔවුන්ගේ කැදැල්ලට නව සාමාජිකයින් ලෙස එක් වූයේ 1959 දී සහ 1962 දීය. වැඩිමහල් පුතු රොඩ්රිගෝ ගාර්සියා වූ අතර, දෙවන පුත්‍රයා ගොන්සාලෝය.
වයස්ගත වන විට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය කෙමෙන් පිරිහීමට ලක් වූ අතර, 1999 වසරේදී ඔහුට වසාගැටිති පිළිකාවක් ඇති බැව් සොයා ගන්නා ලදි. ඔහු ඇල්සයිමර් රෝගයෙන් පෙළෙන්නට ගන්නේ 2012 වසරේදීය. 2014 වසරේ අප්‍රේල් මස රෝහල්ගත කිරීමෙන් අනතුරුව නිව්මෝනියාව වැලඳීමෙන් ඔහු මිය ගියේ වයස අවුරුදු 77 දීය.
Until August
Gabo මෙකී ග්‍රන්ථය රචනා කිරීමෙන් පසු පෙර සඳහන් කළ පරිදි තම බාලපුත්‍රයා වන ගොන්සාලෝ ගාර්ෂියා තම පියාගේ පළ නොවූ ග්‍රන්ථය ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කළේය. ඔහු මෙසේ තම පියාගේ පළ නොවූ නවකතාවේ පරිච්ඡේද කොටස් කිහිපයක් ද සොයාගනු ලැබුවේ ඔස්ටින්හි ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ, ලේඛනාගාරයේ ගබඩා කර තිබියදීය. කෙසේ වෙතත් වසර දහයකට පසු හෝ Gabo පළ නොකරන්නැයි ඉල්ලා සිටි ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ලෝකයේ බොහෝදෙනාගේ විවේචනයන් ද එල්ල විය.
එහෙත් තම පියාගේ මෙකී ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව මාකේෂ්ගේ බාල පුත්‍රයා වන ගොන්සාලෝ එය සාධාරණීකරණය කරමින් ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබිණි. ඔහු පවසා සිටියේ මේ පිළිබඳව සොයා බැලීමෙන් පසුව එය සම්පූර්ණ කර තිබෙන බව ඔවුන්ට අවබෝධ වූ බවත් වැඩි වශයෙන් සංස්කරණය කිරීමේ වුවමනාවක් නොතිබූ බවත්ය. අවසාන වශයෙන් ඔහු පවසා සිටියේ මෙම ප්‍රකාශය සිදුකිරීම තම පියාගේ කැමැත්ත පාවාදීමක් ද යන්න පිළිබඳව සිතූ මුත්, තම පවුලේ අයට ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ගතවූයේ තත්පර කිහිපයක් පමණක් යන්නයි. නමුත් තම පවුලේ තීරණය සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ “අපි තීරණය කළා පොත එළිදක්වන්න. ඒක පාවාදීමක්. ඒත් ඒකට තමයි දරුවෝ ඉන්නේ” යනුවෙනි.
ගැබෝගේ පුතුන් දෙදෙනා මෙම නවකතාව සම්බන්ධයෙන් දරන මතය වන්නේ මෙය ගාර්ෂියා මාකේෂ්ගේ විශිෂ්ට කෘති අතරට නොපැමිණෙන බවයි.
බහුතරයකගේ අප්‍රසාදය
බහුතරයක් දෙනා මෙම නවකතාව එළිදැක්වීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කළ ද මීට පෙර ද මෙවැනි සිදුවීම් සිදුව ඇති බව The newyork times සඳහන් කර සිටී. ඔවුන් දක්වා සිටින්නේ ව්ලැදිමීර් නබොකොව් ඔහුගේ අවසන් නවකතාව වන The original of Laura විනාශ කර දමන ලෙසට ඔහුගේ පවුලේ අයට උපදෙස් දුන් නමුත් කතුවරයාගේ මරණින් වසර 30කට වැඩි කාලයකට පසු ඔහුගේ පුත්‍රයා විසින් නිමා නොකළ සටහන් පෙළක් නිකුත් කළ බවයි.
එමෙන්ම වර්ජිල් කවියා මරණ මංචකයේදී ඔහුගේ ‘The Aeneid’ වීර කාව්‍යයේ අත්පිටපත විනාශ කර දමන ලෙස ඉල්ලා සිටිය ද එය පවා සිදු නොවූ බවයි. එමෙන්ම ෆ්රාන්ස් කෆ්කා ක්ෂය රෝගයෙන් පීඩාවිඳිමින් සිටින විට තමාගේ මිතුරා මෙන්ම විධායක නිලධාරියාට සියලු වැඩ පුලුස්සා දමන ලෙස පවසා සිටිය ද ඔහු එවැන්නක් සිදු නොකර ‘The trial’, ‘The castle’, ‘America’ වැනි අධියථාර්ථවාදී විශිෂ්ට කෘති ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවයි.
විවාහයෙන් වසර 30කට ආසන්න කාලයකින් පසු අනියම් ප්‍රේම සම්බන්ධතාවක් හරහා තම නිදහස මෙන්ම ස්වයං තෘප්තිය සොයන කාන්තාවක් මූලික කර ගනිමින් ලියා ඇති මෙම ග්රන්ථයට පසුබිම් වී ඇත්තේ 40 දශකය අගභාගයේ කාලවකවානුවකි.
කෙසේ වෙතත් දැන් Gabo ගේ අවසන් කෘතිය ද පිටව අවසන්ය. එය ඉංග්‍රීසි බසට මේ වන විට පරිවර්තනය කර ඇත්තේ Anne Mclean ය. දැන් Gaboගේ පාඨකයන්ට ඇත්තේ විවේචන කෙසේ වෙතත් එය රසවිඳ අවසන් කිරීමටයි. නමුත් ‘Until August’ කියවා රසවිඳීමට ඔබ අගෝස්තු දක්වා සිටිය යුතු ද නැත.