ප්‍රංශයේ මේ වන විට රැඳී සිටින මත්කුඩු ජාවාරමේ නිරත ප්‍රධාන පෙළේ පාතාල අපරාධකරුවකු හා සම්බන්ධයක් ඇතැයි කියනු ලබන මෝදර ගුඩ් ෆුඩ් අවන්හලේ කළමනාකරුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කළ වෙඩික්කරු මෝදර පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (16) සවස අත්අඩංගුවට ගෙන ඇත.
පෑලියගොඩ වික්ටෝරියා පාලම අසලදී අත්අඩංගුවට ගත් වෙඩික්කරු ඉඹුල්ගොඩ පරකන්දෙණියේ සුචරිත මාවතේ පදිංචිකරුවකු වන පී.ආර්. සමරසේකර නමැති අයෙකි. 34 හැවිරිදි වියේ පසුවන ඔහු යුද හමුදාවෙන් ඉවත්ව සිටින අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවකු බව විමර්ශනයේදී හෙළිවී තිබේ.
සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ ඩුබායිහි රැඳී සිටින පාතාල අපරාධකරුවකුගේ මෙහෙයවීම මත මෙම වෙඩි තැබීම සිදුව ඇති බවය. වෙඩි වැදුණු පුද්ගලයා මෙම අවන්හල කුලියට ගෙන පවත්වාගෙන යන අයකු බව පොලිසිය කියයි. ප්‍රංශයේ සිටින මත්කුඩු ජාවාරම්කරු සමඟ හිතවත්කමක් අවන්හල් කළමනාකරුට පැවතියාට ඔහු අපරාධ හෝ වෙනත් නීති විරෝධී කටයුතුවලට සම්බන්ධ බව අනාවරණය නොවන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. වෙඩි තැබීම සිදුව ඇත්තේ එම හිතවත්කම මුල් කරගෙන නොවන බවත් එය පිටුපස වෙනත් සිදුවීමක් ඇති බව පෙනී යන බවත් එම නිලධාරියා කීය.
වෙඩික්කරුව මෙම ප්‍රහාරයට යොදාගෙන ඇත්තේ ලොකු ගාණක් ඔහුට ලබාදෙන බව සඳහන් කරමින් බවත් එම මුදල කොපමණදැයි පැහැදිලිවම හෙළි නොවන බවත් පොලිසිය කියයි.
මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 600ක් සමඟිනි. මත්කුඩු සමඟ අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීමේදී වෙඩි තැබීම ගැන තොරතුරු හෙළිවූ බව පොලිසිය කියයි.
මෙම වෙඩි තැබීම පෙරේදා (16) සිදුවන අතර පැය 24ක් යන්නට මත්තෙන් වෙඩික්කරු ගමන් කළ මෝටර් රථය ජා-ඇළ ප්‍රදේශයේ අතහැර ගොස් තිබියදී හමුවිය. මෙම වෙඩි තැබීමට සම්බන්ධ එක් සැකකරුවකු කොළඹ උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින්ද මෝදර් පොලිසිය විසින් මෙයට පෙර සැකකරුවන් තිදෙනකු විටෙන් විට අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ හැරුණු කොට වෙඩික්කරු ඇතුළු සැකකරුවන් පලා යන්නට යොදාගත් ත්‍රිරෝද රථයක් ද පොලිසිය විසින් සොයාගෙන තිබිණි.
මෙතෙක් මෙම වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය හෝ වෙඩික්කරු පැමිණි මෝටර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන නැත.