බුදුරජාණන් වහන්සේගේ පටිය ධාතුව තැන්පත් කර ඇති ලොව විශාලතම ගඩොලින් තනන ලද ස්ථූපය ලෙස සැලකෙන අනුරාධපුර ජේතවනාරාම ස්ථූපයේ හතරැස් කොටුවේ සිට පහළට සතර දෙසින් ස්ථූප ගර්භය මැද්දට විහිදී යන පරිදි සිදුව ඇති පිපිරීම් හෙවත් පැළීම් විවර ඇතැයි වාර්තාවේ.
මේ පුපුරා යෑම හතරැස් කොටුවේ සිට පහළට සිදුව ඇති අතර, හිඩැස් තුළින් වර්ෂා කාලයට ජලය ඇතුළුවීම සහ වියළි කාලයට ප්‍රසාරණය වීම හේතුවෙන් මේ ස්ථූපයට ද මිරිස වැටිය ස්ථූපයට මෙන් අනතුරක් විය හැකි යැයි බැතිමතුන් පිරිසක් පැවැසූහ.
වර්තමානයේ ජේතවනාරාම ස්ථූපය ඉදිකර ඇත්තේ පැරැණි ව්‍යුහය මත නැවත ගඩොල් තැන්පත් කිරීමෙනි. සංරක්ෂණ කටයුතු සඳහා ඉහළට යා හැකි පරිදි ඉදිකර ඇති යකඩ බට සහිත ස්ථානවලට ගොස් යම් යම් පිරිස් සෙල්ෆි ඡායාරූප ගන්නා බවට ද චෝදනාවක් නැඟේ.
මේ සම්බන්ධයෙන් අප මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජෙනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතාගෙන් සිදු කළ විමසීමකදී ඒ මහතා මෙලෙස කියා සිටියේය.
“මේ සම්බන්ධව සතිපතා නිරන්තර සොයා බැලීම් සහ පිළියම් කරමින් අවශ්‍ය සියලු කටයුතු සිදු කරනවා. මෙවැනි පිපිරීම් සාමාන්‍යයෙන් සෑම ස්ථූපයකම දැකිය හැකියි. මෙහි ඇති පිපිරීම් සම්බන්ධව විද්වත් කණ්ඩායමක් සහ ඉංජිනේරුවරුන් පිළියම් සිදු කරනවා. මෙහි පමණක් නොව රුවන්මැලි සෑයේද යම් යම් ඉරි තැලීම් තිබෙනවා. වසර 2500ක් පමණ පැරණි ඉතිහාසයක් තුළ මෙවැනි දේ සිදු විය හැකියි. ව්‍යූහාත්මක මෙන්ම මතුපිට පිපිරීම් සිදු වෙනවා.
ස්ථූපය පුපුරා බිමට කඩා වැටෙන මට්ටමේ කිසිදු තත්ත්වයක් නෑ. පිපිරීම් කිහිපයක් ඇති නිසා දේශීය විශ්වවිද්‍යාල කිහිපයකින් ඉංජිනේරුවරුන් කණ්ඩායමක් වශයෙන් එකතුවී උපදෙස් දෙමින් ජලය අභ්‍යන්තරයට යෑම වළක්වා ආවරණය දී තිබෙනවා. පිස්ම සවි කර සෑම සතියකම ස්ථූපය සම්බන්ධයෙන් අධ්‍යයනයක් කරනවා. සංරක්ෂණ කටයුතු සඳහා ඉදිකර ඇති යකඩ බට සහිත ඉහළට යා හැකි ස්ථානයේ පිටස්තර කිසිවකුට සෙල්ෆි ඡායාරූප ගැනීම සිදු කරන බව කීම සම්පූර්ණ සාවද්‍ය කරුණක්. යම් කිසිවෙක් එවන්නක් සිදු කළොත් දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා.”