ජපාන රජයේ ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ජපන් යෙන් මිලියන එක්දහස් හයසියයක (ආසන්න වශයෙන් රුපියල් කෝටි 3300ක්- රුපියල් බිලියන 3.3ක) ප්‍රදානයක් මෙරටට ලබාදීම සඳහා වූ ගිවිසුමට ඊයේ (18) කොළඹ දී අත්සන් තැබිණි. ශ්‍රී ලංකාව හා ජපාන රජය අතර පවත්නා ද්වීපාර්ශ්වීය සබඳතාවය ශක්තිමත් කිරීම මඟින් රටේ සමාජ-ආර්ථික තත්ත්වය වැඩිදියුණු කිරීමේ අරමුණු පෙරදැරිව, ජපන් රජය විසින් මේ මුදල ප්රදානය කර තිබේ.මෙම ප්‍රදානයට අදාළව හුවමාරු පත්‍ර අත්සන් කිරීම, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා විසින් ඊයේ (18) මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ දී සිදු කරන ලදි. ජපාන රජය වෙනුවෙන් හුවමාරු පත්‍ර සඳහා අත්සන් තබන ලද්දේ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයකි මහතා විසිනි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන හවුල්කරුවකු වශයෙන් කටයුතු කරන ජපාන රජය විසින් සහනදායී ණය මෙන්ම විවිධ යෝජනා ක්‍රම යටතේ ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන්, තාක්ෂණික සහයෝගිතා, පර්යේෂණ හවුල්කාරිත්ව, සංවර්ධන අධ්‍යයන සහ ව්‍යාපෘති නොවන ද්‍රව්‍යමය ආධාර යනාදී ප්‍රදානයන් ශ්‍රී ලංකාව වෙත ලබා දී ඇත. ඒ අනුව යමින් ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය තුළ, විපතට පත් ප්‍රජාව සඳහා අවශ්‍ය හදිසි මානුෂීය ආධාර ලබා දීමෙන් මෙන්ම රටේ සමාජ ආර්ථික තත්ත්වය වැඩිදියුණු කිරීම උදෙසා රාජ්‍ය අංශය සවිබල ගන්වමින් ජපාන රජය සිය සහයෝගීතාවය පුළුල් කර තිබේ. මෙම අවස්ථාවේ දී, ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි සමුද්‍ර පරිසරය, ධීවර, සෞඛ්‍ය සේවා සහ වෘත්තීය පුහුණුව යන විවිධාංගීකරණය වූ ක්ෂේත්රවල අවශ්‍යතා සලකා බලමින් ජපන් ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ජපන් යෙන් මිලියන එක්දහස් හයසියයක (ආසන්න වශයෙන් රුපියල් බිලියන 3.3ක) ප්‍රදානයක් ලබාදීමට ජපාන රජය එකඟ වී ඇත.