කුමන තර්ජන ගර්ජන තිබුණ ද පාතාලය, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර ගනිමින් අනාගත පරපුරට නිදහස් නිවහල් රටක් බිහි කිරීමේ වගකීම නිසියාකාරව ඉටු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අවධාරණය කරයි.
අපරාධ හා ප්රචණ්ඩත්වය පිළිබඳ බියකින් තොරව විශ්වාසයෙන් යුතුව ජීවත් වීමට හැකි සාමකාමී පරිසරයක් බිහි කිරීම තේමා කර ගනිමින් වවුනියාව හා මන්නාරම කොට්ඨාසවල මහජනතාව දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනක් සහ
ද්‍රවිඩ භාෂාවෙන් පැමිණිලි සහ තොරතුරු ලබා දීම සඳහා ‘107’ හදිසි දුරකතන ඇමතුම් මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන්, අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා හා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහභාගිත්වයෙන් පසුගියදා (16) වවුනියාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේදී පැවැත්විණි. එම අවස්ථාවේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මෙලෙස අදහස් දැක්වීය.
අද අප මෙතනට පැමිණියේ පොලිස්පතිතුමා ප්‍රකාශ කරපු පරිදි යුක්තිය මෙහෙයුම ගැන කියලා ඔබ සියලු දෙනා කළ යුතු දේ පැහැදිලි කරන්න. අප මේ මෙහෙයුම පටන් ගත්තේ මාස තුනකට කලින්. ඊටත් මාස හයකට විතර කලින් මම පොලිස්පතිතුමාට කියා සිටියේ මට මෙවැනි දෙයක් කරන්න අවශ්‍යයි කියලා. එතකොට එතුමා පොලිස්පති නෙමෙයි. අප ඒකට අවශ්‍ය කටයුතු සැලසුම් කරන්න කමිටුවක් පත් කෙරුවා. පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඒ පත් කරපු කමිටුව මාස හයක් විතර ගියාට පස්සේ අප එක්ක සාකච්ඡා කරලා අප මේ මෙහෙයුම කරන්නෙ කොහොමද කියන එක තීරණය කෙරුවා.
ඉන්පසු දේශබන්දු තෙන්නකෝන් මහතාව වැඩ බලන පොලිස්පති හැටියට පත් කර ගත්තට පස්සේ මම තීරණය කෙරුවා මෙහෙයුම පටන් ගන්න.
මට අවශ්‍ය වුණේ දකුණු පළාතේ විශේෂයෙන් එක දවසකින් මුළු දකුණු පළාතම මෙවැනි රැස්වීම් මාලාවකින් ආවරණය කරන්න. අප ගිය වසරේ දෙසැම්බර් 16 වැනිදා ඒ රැස්වීම් මාලාව කරලා එදා තමයි අප මහජනතාව දැනුම්වත් කෙරුවේ 17 වැනිදා පහුවදා උදේ ඉඳන් මෙම මෙහෙයුම පටන් ගන්නවා කියල.
අප මෙහෙයුම පටන් ගත්ත දවසෙ ඉඳන් කාටවත් කිසිම බුරුලක් නොදී මේ මෙහෙයුම ආරම්භ කරපු දවසේ ඉඳන් අද වෙනකම් කරගෙන යනවා.
ඒ දේ කරන්නේ ඔබ සියලු දෙනා වෙනුවෙන්, ඔබ සියලු දෙනාගේ දූ දරුවන් වෙනුවෙන්, අප රටේ සියලු මහජනතාව වෙනුවෙන්. එහෙම හිතලා කරන මේ මෙහෙයුම මේ කුඩු තුරන් කිරීම සහ පාතාලය තුරන් කිරීම අප කිසිදු බලපෑමකට යටත් නොවී දිගටම කරගෙන යනවා. ඔබ සියලු දෙනා දන්නවා මේ කුඩු ජාවාරමේ තියෙන මුදල් වීසි කරන්න ලෑස්තියි අපේ මේ මෙහෙයුම නවත්වන්න. සමහර රටේ පිළිගත් උදවිය මේ මිලියන ගණන්වලට යටවෙලා ඔවුනුත් අපට බලපෑම් කරනවා. ඒ අතර සමහර නීතිඥ මහත්වරු ඉන්නවා. NGO කට්ටිය ඉන්නවා. බලවත් තව පුද්ගලයන් ඉන්නවා. ඒගොල්ලන් දැන් මේ දවස්වල ලොකුම දේ කරන්න හදන්නේ පොලිස්පතිතුමාගේ පොලිස්පතිකම නැති කරන්න. ජාත්‍යන්තරයෙන් බලපෑම් එනවා. අපට ලියුම් එවනවා. නිවේදන නිකුත් කරනවා. මේ දේවල් කරන්න කියලා.