මේ වසරේදී සිය ආරක්ෂක වියදම් සැලකිය යුතු ලෙස ඉහළ දැමීමට චීන රජය තීරණය කර ඇතැයි ද, එය දකුණු චීන මුහුදු කලාපයේ උණුසුම ඉහළ යෑමට හේතුවනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අසල්වැසි රටවල් දකුණු මුහුදේ චීන ආක්‍රමණයට එරෙහිව ප්‍රතිචාර දක්වමින් සිටින අතර, තායිවානයට අමතරව පිලිපීනය සමඟ ද දකුණු චීන මුහුදේ ක්‍රියාකාරකම් සම්බන්ධව අර්බුද රැසකට මැදිහත්ව සිටින චීනය සිය ආරක්ෂක වියදම් ඉහළ දැමීම එම මුහුදු කලාපය ඉලක්ක කරමින් සිදු කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.
චීන ජනාධිපති ෂි ජින්පින්ගේ දසවසරක පාලන කාලය තුළ චීනයේ ආරක්ෂක වියදම් දෙගුණයකටත් වඩා ඉහළ ගොස් ඇතැයි හොංකොං පෝස්ට් පුවත් සේවය වාර්තා කළේය. මේ වසරේදී චීනය සිය ආරක්ෂක වියදම් සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 231ක් වෙන් කර ඇතැයි ද, මහජන විමුක්ති හමුදාව නවීකරණය කිරීමත් ඊට ඇතුළත්ව ඇතැයි ද හොංකොං පෝස්ට් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.