පිටිගල පොලිස් වසමේ නියාගම, හොරංගල්ල, ගුරුවිලදී හතර දෙනෙකුට වෙඩි තබා දෙදෙනකු ඝාතනය කර අනෙක් දෙදෙනාට බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලිසිය මඟින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනා 2024 මාර්තු 25 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඇල්පිටිය මහේස්ත්රාත් මධුෂිකා වාසලමුදලි මහත්මිය ඊයේ (18) නියෝග කළාය.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කර ප්රගතිය වැඩිදුර වාර්තාවක් මඟින් කරුණු වාර්තා කරන ලෙසත් සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන් ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්රාත්වරයා පිටිගල පොලිසියට දැනුම් දුන්නේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ 69 කොටස, නියාගම, තල්ගස්වල ලිපිනයේ පදිංචි නාගොඩවිතාන කසුන් රන්දික නාගොඩවිතාන (36) සහ අලවත්තහේන, ගෝනගල්ගොඩ, තල්ගස්වල ලිපිනයේ පදිංචි කාරියවසම් ලොකුගමගේ ගයාන් ප්‍රසන්න (36) නමැති දෙදෙනාය.
පසුගිය මාර්තු 11 දින රාත්‍රී 7.50 ට පමණ යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු විසින් වෙළඳසල් හිමිකරුවකු ඉලක්ක කර සිදුකරන ලද වෙඩි තැබීමකදී මෙම ඝාතන හා තුවාල සිදු කිරීම් සිදුව තිබේ. සිද්ධිය වූ ස්ථානයේදීම එක් අයෙකු මියගොස් තිබෙන අතර අනෙක් පුද්ගලයා මියගොස් ඇත්තේ ගාල්ල, කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවය. සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් ඇත්තේ කුරුඳු තැළීමේ රැකියාවේ නිරත අයකු වන කරන්දෙණිය ගලගොඩඅත්තේ පදිංචි සතිෂ් මධුශංක (32) නමැති දෙදෙරු පියෙකි. හොරංගල්ල, ගුරුවෙල පදිංචි කටුකුරුන්ද ආරච්චිගේ කවීෂ අංජන (26) ගාල්ල, කරාපිටිය රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබේ. රෝහලේදී මියගිය තුවාලකරු බරපතළ තුවාල ලබා ඇල්පිටිය මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්රතිකාර සඳහා ගාල්ල, කරාපිටිය රෝහලට මාරුකර යවා තිබේ.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනකුගෙන් එක් අයෙකු ටී-56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇල්පිටිය, කහදූව ප්රදේශයට පලාගොස් තිබෙන බව ද පිටිගල පොලිසිය කියයි.
තුවාල ලැබුවන් අතර සිද්ධිය වූ ස්ථානයේදීම මියගිය සතිෂ් මධුශංක (32) නමැති අයගේ බිරිඳ වන එන්. කේ. දිනුෂිකා (32) සහ තලාව, කුරුඳුගහහැතැක්ම පදිංචි සුනිල් ශාන්ත (54) නමැති දෙදෙනා ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ මේ වන විටත් නේවාසික ප්රතිකාර ලබයි.
මෙම වෙඩි තැබීම රුපියල් ලක්ෂ 50ක කොන්ත්රාත්තුවක් මත සිදුකර තිබෙන බව පොලිස් පරීක්ෂණවලදී තහවුරු වූයේ යැයි පිටිගල පොලිසිය කියයි. ඩුබායිහි සිටින අයෙකු විසින් මෙම කොන්ත්රාත්තුව ලබා දී තිබෙන බවත් එය ලබා දී ඇත්තේ මෝටර් රථයක් අලෙවි කිරීමෙන් බවත් පොලිස් පරීක්ෂණවලදී තහවුරු වූයේ යැයි පිටිගල පොලිසියේ ප්රකාශකයෙක් සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර මහතා ඇතුළු ඇල්පිටිය, නාගොඩ, බද්දේගම, අම්බලන්ගොඩ, මීටියාගොඩ, කරන්දෙණිය, බටපොල යන පොලිස් ස්ථානවල නිලධාරීන් පිරිසක් එක්ව වැඩිදුර විමර්ශන සිදු කරයි.