සෙව්වන්දි මෙරටට ගෙන්වා ගන්න විදේශ සේවා කාර්යාංශයෙන් ලක්ෂ හයහමාරක් ඉල්ලලා
ස්ථිර නිවෙසක් ඉදිකරගැනීමට සහ දරුවන්ට නිසි අධ්‍යාපනයක් දීමට මීට මාස තුනකට පෙර කුවේට් හි ගෘහ සේවයට ගොස් සිටියදී හදිසි අනතුරකට ලක්ව රෝගී වී සිටින තම බිරිය වන එච්. එච්. සෙව්වන්දි මහේෂිකා ජයවීර මෙරටට ගෙන්වාගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඉල්ලන රුපියල් ලක්ෂ හය හමාරක මුදල දීමට තම වකුගඩුවක් ලක්ෂ පහළොවකට දී මුදල් සොයන්නට උත්සාහ දරන සැමියකු දිඹුලාගල, මනම්පිටිය, මහවැව ගම්මානයෙන් අපට හමු විය.
මෙසේ සිය වකුගඩුවක් මුදලට දී සිය බිරිය ගෙන්වා ගැනීමට වෙහෙසෙන්නේ මනම්පිටිය, මහවැව, කොළකනාවාඩිය ලිපිනයේ පදිංචි 28 වියැති ඒ. එම්. ඉෂාර සරච්චන්ද්‍ර නම් තිදරු පියෙකි. මේ වන විටත් ඉෂාර සිය වකුගඩුව දීමට අවශ්‍ය පරීක්ෂණ කටයුතුවලට ද සම්බන්ධව අවසන්ය.
ඉෂාරගේ බිරිය කුවේට්හි ගෘහ සේවයට යන්නේ කුරුණෑගල ඒජන්සියකිනි. ඒ පසුගිය වසරේ දෙසැම්බර් මස 20 වැනිදාය. එලෙස ගිය ඇය නිවෙසක සේවයේ නිරතව සිටියදී ඇඳ වැටීමකින් සිදු වන හදිසි අනතුරකින් මේ වන විට කිසිවක් කරගැනීමට නොහැකිව දුබලව සිටී.
තම බිරිය මුහුණදී ඇති මේ අවාසනාවන්ත තත්ත්වය ගැන ඉෂාර මෙලෙස අදහස් දැක්වීය.
“මගේ නෝනා රට ගියේ ගෙයක් හදාගෙන දරුවන්ට උගන්වන්න. ඒත් එහෙ ගිහින් වැඩ කරනකොට එයා බාත්රූම් එකේ වැටිලා අසනීප වෙලා. ඒ ගෙදර අය බෙහෙත්වත් අරන් දෙන්නේ නෑ. මෙහෙන් යනකොට අරන් ගිය බෙහෙත් තමයි එයා පාවිච්චි කරන්නේ. එයාට කන්න බොන්නවත් හරියට දෙන්නෙ නෑ. මගේ නෝනා ඔය ඉන්නේ දෙවෙනි ගෙදර.
නෝනා ගෙන්වා ගන්න මේ අවුරුද්දෙ ජනවාරි මාසෙ 02 වෙනිදා සී. ඩී. / 005/24/02 අංකය යටතේ කොළඹ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිල්ලක් යොමු කළා. එහි නිලධාරීන් කිව්වා නෝනා මෙරටට ගෙන්වා ගන්න නම් රුපියල් ලක්ෂ හය හමාරක් වුවමනයි කියලා.
මට අවුරුදු 11ක දුවෙක්, අවුරුදු 9ක සහ අවුරුදු 3ක පුතාලා දෙන්නෙක් ඉන්නවා. එයාලා බලාගන්නේ නෝනගෙ අම්මා. එයත් ඉන්නෙ ලෙඩ ගානෙ. දුව සෙවණපිටිය මහා විද්‍යාලයේ 6 වසරේ ඉගෙන ගන්නවා. ලොකු පුතා 4 වසරේ ඉගෙන ගන්නවා. දරුවො හැම වෙලේම අඬනවා අම්මා ගෙනත් දෙන්න කියලා.
යකඩ බාල්දි, යකඩ පෝරු හදලා ජීවිත්වෙන මට ලක්ෂ හය හමාරක් හොයා ගන්නවා කියන්නේ හීනයක්. බැරිම තැන මම තීරණය කළා ඒ සල්ලි ටික හොයා ගන්නත්, නෝනා රට යවන්න ගත්ත ණය පියවන්නත් මගෙ වකුගඩුවක් ලක්ෂ පහළොවකට විකුණන්න. ඒකට මහනුවර කෙනෙකුට කතා කළා.දැන් මට තියෙන්නේ එච්. එල්. ඒ. රිපෝට් එක ගන්න විතරයි. කාටහරි පුළුවන් නම් මගෙ නෝනා ලංකාවට ගෙන්නලා දෙන්න.”
මේ පිළිබඳව අප විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උතුරුමැද පළාත් ජ්‍යෙෂ්ඨ කළමනාකරු එච්. එම්. සුනිල් මහතාගෙන් කළ විමසීමකදී ඔහු මෙලෙස සඳහන් කළේය.
“සෙව්වන්දිගේ ස්වාමියා වන ඉෂාර පැමිණිලි කර ඇත්තේ බිරිය සේවය කරන ස්ථානය මාරු කර දෙන ලෙසයි. ඒ අනුව බිරිය මේ වන විට වෙනත් නිවෙසක සේවය කරනවා. ඇය රෝගීවී ඇත්නම් ඒ පිළිබඳ සලකා බැලීමට අවශ්‍ය කටයුතු කරනවා.”
සිරිපුර – මදුශානි අබේසිංහ