Home » මින් පසු ඖෂධ මිලදී ගන්නේ ටෙන්ඩර් මඟින් පමණයි
හදිසි මිලදී ගැනීම් සපුරා නතර කරනවා

මින් පසු ඖෂධ මිලදී ගන්නේ ටෙන්ඩර් මඟින් පමණයි

- සෞඛ්‍ය ලේකම් පාලිත මහීපාල

by sachintha
March 20, 2024 1:48 am 0 comment

හදිසි මිල දී ගැනීම් සම්පූර්ණයෙන්ම නතර කර ටෙන්ඩර් මඟින් පමණක් ඖෂධ මිල දී ගැනීමට පියවර ගෙන තිබෙන බවත් එහි පූර්ණ වගකීම පවරා ඇත්තේ ඖෂධ අධිකාරියට බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි. පිළිකා රෝගීන් සඳහා බාල ඖෂධ ගෙන ඒම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ කමිටුවක් පත්කර පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව ද ඒ මහතා කීය.

මධ්‍යම පළාත් රෝහල්වල ගිලන් රථ රියැදුරන් සඳහා පැවැති පුහුණු පාඨමාලාවකින් පසු ඔවුන්ට සහතික පත් ප්‍රදානය කිරීම නිමිත්තෙන් මහනුවර ජාතික රෝහලේ තිලක් අබේසේකර ශ්‍රවණාගාරයේදී පැවැති රැස්වීමකින් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ලේකම්වරයා මේ බව පැවසුවේය.

කිසියම් හෝ ගැටලුකාරී තත්ත්වයක් පැන නැඟුණු ඖෂධ වහාම භාවිතයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඔස්සේ බාල බෙහෙත් ලබා දීමක් සිදුවීමට කිසිදු ඉඩක් නැති බවත් ඒ මහතා කීය.

අමාත්‍යාංශය සෑම අවස්ථාවකම රෝගීන්ට ලබා දෙන්නේ ගුණාත්මක ඖෂධ බවත් ඒ සම්බන්ධ පරීක්ෂණ නිරන්තරයෙන් සිදු කෙරෙන බවත් හෙතෙම පැවසුවේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛතාව වඩාත් ගුණාත්මක ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමට බවත් ඒ සඳහා නව දිශානතියක් ඔස්සේ ගමන් මඟ වෙනස් කරමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවාව වඩාත් ශක්තිමත් කිරීමට අවධානය යොමුකර තිබෙන බවත් මහීපාල මහතා කීවේය. මෙම අවස්ථාවට මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු, මධ්‍යම පළත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT