Saturday, May 10, 2025
Home » මහා ශිව රාත්‍රි දිනයේ වෙඩක්කුනාරිමලෙයිදී අත්අඩංගුවට ගත් අටදෙනා ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වනවා -ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ

මහා ශිව රාත්‍රි දිනයේ වෙඩක්කුනාරිමලෙයිදී අත්අඩංගුවට ගත් අටදෙනා ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වනවා -ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ

by sachintha
March 20, 2024 1:32 am 0 comment

මහා ශිව රාත්‍රි දින රාත්‍රියේ වෙඩක්කුනාරිමලෙයි ඇති ලිංගේෂ්වරර් පුදබිමේ ආගමික වතාවත්වල නිරතව සිටි පුද්ගලයන් 8ක් අත්අඩංගුවට ගැනීම පිළිබඳ වූ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා සියලු තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරන බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (19) පැවසීය.

මහා ශිව රාත්‍රි දින ආගමික වතාවත්වල නිරතව සිටි පුද්ගලයන් අටදෙනෙකුට බොරු චෝදනා ඉදිරිපත් කර සිදු කළ අත්අඩංගුවට ගැනීමෙන් ඔවුන් නිදහස් කරන ලෙස ඉල්ලමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

ඇමැතිවරයා මෙසේ ද පැවසීය.

චාල්ස් නිර්මලනාදන් මන්ත්‍රීවරයා පවසන පරිදි අධිකරණ කටයුත්තක පවතින දෙයකට පාර්ලිමේන්තු වරප්‍රසාද මුවාවෙන් එම පුද්ගලයන් නිදහස් කිරීමට නොහැකියි. එය නීතියේ ආධිපත්‍යයට පටහැනියි.

අට දෙනෙක් අත්අඩංගුවට ගත් නඩුවක් අධිකරණයේ පවතින බව චාල්ස් නිර්මලනාදන් මහතා ඉදිරිපත් කළා. අත්අඩංගුවට ගැනීම තුළ යම් වරදක් සිදුව ඇත්නම් ඒ පිළිබඳ ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කර ඒ කාරණාව අධිකරණයට දැනුම් දිය හැකියි. එවිට අධිකරණය සාධාරණය, යුක්තිය ඉෂ්ට කරාවි. අධිකරණයේ තිබෙන නඩුවක චූදිතයන් නිදහස් කරන්න කියලා පාර්ලිමේන්තුවේ ඉල්ලීමක් කළාට අපිට මොකුත් කරන්න බැහැ. ඔබතුමන්ලාම තමයි කියන්නේ නීතියේ ආධිපත්‍යය රකින්න කියලා. නඩු තීන්දු දෙන්න ඕනෑ විනිසුරුවරුන්. මේ අටදෙනා නිදහස් කරලා දෙනවා කියලා අපි කියනවා නම් අධිකරණයේ කටයුත්ත කරන්නේ අපි. අනෙක් පැත්තට ඔබලා කියාවී මේ රටේ නීතියේ ආධිපත්‍ය කොහේද කියලා. ඒ නිසා අපි නීතිය හරියට ක්‍රියාත්මක කරන්නම්. විපක්ෂයෙන් ගෙනා විශ්වාසභංග යෝජනාවට අද දිනය වෙන් කර තිබෙනවා. අද විපක්ෂයේ දවස. විපක්ෂය ගෙනා යෝජනාව විපක්ෂය ඇයි කඩාකප්පල් කරන්න හදන්නේ.

පුරාවිද්‍යා ප්‍රදේශ කියලා වෙන් කළ ස්ථාන විශාල සංඛ්‍යාවක් වන්නේ ආගමික ස්ථාන. විශේෂයෙන්ම බෞද්ධ පන්සල් බොහෝ සංඛ්‍යාවක් තිබෙනවා. පසුගිය කාලයේ දී බෞද්ධ පන්සල්වල විහාරාධිපතිවරුන් ඔවුන්ගේ විහාරස්ථාන භූමියේ වැසිකිළියක් හදන්න වළක් හෑරුවා කියලා ඇතැම් විට බුදු පිළිමයක් තබන්න ගලක් විදලා ඇණයක් හයි කළා කියලා බෞද්ධ භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගත්තා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් තමයි මේ අත්අඩංගුවට ගැනීම් කරන්නේ. ගාලු කොටුවේ සංරක්ෂිත භූමියේ බිත්තියේ හැදුණු බෝ පැළයක් ගලවා දැම්මා කියලා ඒ පුද්ගලයා අත්අඩංගුවට ගත්තා. මේ වන විට නීතිය දැඩි කර තිබෙනවා. පුරාවිද්‍යා පනත යටතේ අත්අඩංගුවට ගත් පසුව ඇප දීමට මහේස්ත්‍රාත්වරයාට බලයක් නැහැ. ඒ පිළිබඳව අපි දිගින් දිගටම සාකච්ඡා කර තිබෙනවා. පුරාවිද්‍යා පනතේ ගැටලු හඳුනාගෙන ඒවා වෙනස් කිරීමට අපි පියවර ගනිමින් සිටිනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT