වව්නියාවේ හින්දු කෝවිලක වන්දනාමාන සිදු කළ තරුණයින් පිරිසක් අත්අඩංගුවට ගැනීම අනුමත කළ නොහැකි බවත් ආගමික නිදහස දකුණට මෙන්ම උතුරේ ජනතාවට ද තිබිය යුතු අයිතියක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) ප්‍රකාශ කළේය.
වව්නියාවේ හින්දු කෝවිලක පූජාවක් පවත්වමින් සිටි පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට විරෝධය පාමින් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තු සභාගර්භයේ දී විරෝධතාවක ඊයේ (19) නිරත වූ අතර මෙහි දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.
තවදුරටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද පැවසීය.
ආගමික අයිතිය යනු මානව හා මූලික අයිතියක් බැවින් එම නිදහස සුරැකිය යුතුයි.
ජාති ආගම් කුලමල භේදයකින් තොරව ආගමික හා භාෂණයේ නිදහස තිබෙනවා. එය මූලික හා මානව අයිතියක්. පන්සලක්, පල්ලියක් හෝ කෝවිලක් වේවා කුමන ආගමික ස්ථානයක වුවත් ආගමික කටයුතු කිරීමේ අයිතියක් ඇති බැවින් මෙම ආගමික නිදහස ආරක්ෂා කිරීමේ අරමුණින් අපක්ෂපාති පරීක්ෂණයක් සිදු කරන ලෙස මෙහි දී ඉල්ලා සිටිනවා.