කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිදු කළ වරද පිළිගෙන කථානායක ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) ප්‍රකාශ කෙළේය.
කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (19) පැවැති විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, මෙසේද පැවසීය.
මාර්ග ගත සුරක්ෂිතතාව පිළිබඳ පනත සම්බන්ධයෙන් මම මහාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. කෙසේ වෙතත්, මහාධිකරණය මෙම පෙත්සම නිෂ්ප්‍රභ කළේ නඩු විභාගය ඉදිරියට ගෙන යා නොහැකි බව පවසමින්. මහාධිකරණය දුන් තීන්දුව සමාලෝචනය කරන ලෙස මම ඉල්ලා සිටියා. නීති සම්පාදනය විධිමත්ව ක්‍රියාත්මක විය යුතුයි. කථානායකවරයාට අයථා ලෙස පනතක් සම්මත කරන්න බැහැ. එය විශේෂ බහුතරයකින් සම්මත විය යුතු බවට අධිකරණය ප්‍රකාශ කර ඇත්නම් ඒ අනුව එය කළ හැකියි. ජනමත විචාරණයට අදාළව එය සඳහන් කරන්නේ නම් ඒ අනුව එම පනත සම්මත විය යුතුයි.
ඒ වගේම අධිකරණය යෝජනා කරන සංශෝධන ද ඇතුළත් කළ යුතුයි. නමුත් මේ එකක්වත් සරල බහුතරයකින් සම්මත වෙලා නැහැ. අපි සංශෝධන සභාගත කළා. ඒකත් කළේ නැහැ. මහාධිකරණ නියෝග නොතකමින් වගන්ති 6ක් සම්මත කර තිබෙනවා. මහාධිකරණ තීන්දුව තේරුම් ගන්න බැහැ. ජනාධිපති නීතිඥවරුත් ආණ්ඩු පක්ෂයේ.
සෞඛ්‍ය ඇමැතියවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ආණ්ඩු පක්ෂය පරාජයට පත් කළා. කෝ දැන් ඒ ඇමැති? දැන් ආණ්ඩු පක්ෂය වැරදිකරු. ඔබටත් එසේ කිරීමට අවශ්‍ය නම් කථානායකවරයාට එරෙහි විශ්වාසභංගය දැන්ම පරාජය කරන්න. මේක පුද්ගලික ප්‍රශ්නයක් නොවෙයි. එය සභාවේ කීර්තිය පිළිබඳ කාරණයක්. ඔබ මේ සභාව මොනතරම් නින්දාවකට පත් කළාද?.