නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාපලගම, මානගොඩ නැකැත්ත ඇළ නිසි පරිදි ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් ප්‍රදේශයේ වී වගා කරන ගොවීන් දුෂ්කරතාවයට පත් වී තිබේ.
ඇටගොවිපළ, පොතුවිල, මානගොඩ, මාලියාගොඩ ගොවිබිම් හරහා මෙම ඇළ ගමන් ගන්නා අතර, මෙම ඇළ නිසි ලෙස ප්‍රතිසංස්කරණය නොකිරීමෙන් මේ වන විට ප්‍රදේශයේ අක්කර 75ක් පමණ කුඹුරු පුරන් වී ඇත. මෙම ඇළේ ආරම්භය සහ අවසානය කිසිදු ප්‍රතිසංස්කරණයක් කර නොමැති අතර, ඇළේ මැද කොටස කිලෝමීටරයක් දුරට පමණක් අඩි විස්සක පමණ පළල ඇළ මාර්ගයක් කපා ඇති අතර, එයද මේ වන විට රොන්මඩ පිරී සම්පූර්ණයෙන්ම ඇහිරී තිබේ.
ගොවීන් පෙන්වා දෙන්නේ අඩි විස්සක් තරම් පළල ඇළ මාර්ගයකට ජලය බැස්සවීම සඳහා යොදා තිබෙන බෝක්කු පද්ධතිය අඩි දෙකහමාරක් තරම් කුඩා බවයි. එම තත්ත්වය මත මෙම ඇළ මාර්ගයේ කිසිසේත්ම ජලය බැස්සවීමට නොහැකි බව ගොවීන් පෙන්වා දෙති.
ප්‍රදේශයේ ගොවීන් ඉල්ලා සිටින්නේ එළඹෙන යල කන්නය සඳහා මෙම පුරන් වූ කුඹුරු අස්වැද්දීමට මෙම ඇළ මාර්ගය නිසි ක්‍රමවේදයකට සකස් කර දෙන ලෙසයි.
හිනිදුම සමූහ
ප්‍රාර්ථනා ලියනගේ