නිශාන් පීරිස්ට තව දින දෙකකින් ටෙස්ට් වරම්?
සංචාරක ශ්‍රී ලංකා පිල හා බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් මෙයට මාස 7කට පෙර ටෙස්ට් තරග බිමෙන් සමුගත් වනිඳු හසරංග ඇතුළත් කොට ඇත. නිත්‍ය දඟපන්දු යවන්නන් ලෙස වමත් පා දඟපන්දු යවන ප්‍රභාත් ජයසූරිය හා දකුණත් පිට දඟපන්දු යවන රමේෂ් මෙන්ඩිස් කණ්ඩායමේ සිටියදී වනිඳු හසරංග සංචිතයට නම් කළේ ඇයි ද යන ප්‍රශ්නය මතුවෙමින් තිබියදී යළි ටෙස්ට් තරග ක්‍රීඩා කිරීමට ඔහු කැමැත්ත පළ කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටු සභාපති උපුල් තරංග මහතා ප්‍රකාශ කර සිටී.
ක්‍රිකට් තේරීම් කමිටුවට වනිඳු මේ දැනුම් දීම සිදු කර ඇති බැවින් ඔහු සංචිතයට ඇතුළත් කළ බව තේරීම් කමිටු සභාපතිවරයා පැවැසීය.
මේ ටෙස්ට් සංචිතයේ දකුණත් පිට දඟපන්දු යවන හා තුන් ඉරියව් ක්‍රීඩක නිශාන් පීරිස් මෙන්ම වමතින් පිට දඟපන්දු යවන හා දකුණතින් පා දඟපන්දු යැවිය හැකි කමිඳු මෙන්ඩිස් ද ඇතුළත්ව සිටිති.
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය අනිද්දා (22) සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9.30ට ආරම්භ වෙයි. ඒ සඳහා ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් 17කගෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි.
මේ ටෙස්ට් තරගාවලිය අප්‍රේල් 3 දක්වා පැවැත්වෙන හෙයින් මේ 22 වැනිදා ආරම්භ වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් පළමු තරග කිහිපය ද හසරංගට අහිමි වේ. සන්රයිසස් හයිද්‍රාබාද් පිල ඔහුව ඉන්දීය රුපියල් කෝටි 1.5කට (ශ්‍රී ලංකා මුදලින් කෝටි 6ක්) මිල දී ගෙන ඇති අතර, සන්රයිසස් හයිද්‍රාබාද් හා කල්කටා නයිට් රයිඩර්ස් අතර ආරම්භක තරගය මේ 23 වැනිදා ඊඩ්න්ගාඩ්න්හිදී පැවැත්වේ. වනිඳු හසරංග මෙයට වසර 4කට පෙර ටෙස්ට් වරම් දිනා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 4කට ක්‍රීඩා කළේය. ඔහු එම ටෙස්ට් තරග හතරේදී කඩුලු 4ක් බිඳ හෙළා ගැනීමට සමත් වූවේය.
මේ අතර ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට මුල්වරට තුන් ඉරියව් ක්‍රීඩක නිශාන් පීරිස් කැඳවා තිබීම විශේෂත්වයකි. මීගමුව සාන්ත පීතර විදුහලෙන් ක්‍රිකට් පිටියට පිවිසි ඔහු බදුරලිය, මීගමුව හා රාගම ක්‍රිකට් සමාජවලට ක්‍රීඩා කළේය. මේ දිනවල පැවැත්වෙන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේදී ගාල්ල කණ්ඩායම නියෝජනය කරමින් තරග 4කදී කඩුලු 24ක් දවාගෙන හා පිත්තෙන් ලකුණු 70ක් ලබා සිටින 26 හැවිරිදි නිශාන් පීරිස් තේරීම් කමිටුවේ අවධානයට ලක්ව ඇත.
බංග්ලාදේශ සංචිතයට වේගපන්දු යවන ක්‍රීඩක නහිඩ් රානා කැඳවා ඇති අතර, නවසීලන්තයට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලිය මඟහැරී ගිය මුස්ෆික් හසන් සහ ලිටන් දාස් ද ඇතුළත්ව සිටිති. 21 හැවිරිදි නහිඩ් රානා පළමු පෙළ ක්‍රිකට් තරගවලදී කඩුලු 63ක් දවාගෙන කඩුලු 5 බැගින් දවාගත් අවස්ථා තුනක් වාර්තා කළේය.
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය: ධනංජය ද සිල්වා (නායක), කුසල් මෙන්ඩිස්, දිමුත් කරුණාරත්න, නිශාන් මධුෂ්ක, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, සදීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, ළහිරු උදාර, වනිඳු හසරංග, ප්‍රභාත් ජයසූරිය, රමේෂ් මෙන්ඩිස්, නිශාන් පීරිස්, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර, චාමික ගුණසේකර
බංග්ලාදේශ ටෙස්ට් සංචිතය: නජ්මුල් හොසේන් සැන්ටෝ (නායක), සකීර් හසන්, මහමුදුල්ලා හසන් ජෝයි, සඩ්මාන් ඉස්ලාම්, ලිටන් දාස්, මොනමුල් හක්, මුෂ්ෆිකර් රහීම්, සහදත් හොසේන්, මෙහිදි හසන් මිරාස්, තයිජුල් ඉස්ලාම්, ෂොරිෆුල් ඉස්ලාම්, සෙයඩ් කලීඩ්, මුෂ්ෆික් හසන්, නාහීඩ් රානා.
ප්‍රින්ස් ගුණසේකර