Home » ජන අයිතිය පැත්තක දමා සේවක වර්ජන

ජන අයිතිය පැත්තක දමා සේවක වර්ජන

by sachintha
March 21, 2024 1:00 am 0 comment

රේගු යන්න පෘතුගීසි වචනයකි. නැව් තොටෙහි බදු අය කරන තැන යන්න එය සිංහලට පෙරළූ විට අර්ථය වේ. අනුරාධපුර කාලයේ සිටම දෙදිග යා කළ වරායන් මෙහි තිබුණේ බැවින් සංවිධිත ආකාරයේ රේගු යන්ත්‍රණයක් සිංහල රාජ්‍යය සතුව තිබුණි. සුංගම්, සුංඝඝාත, සුංකම හෝ සුංවත යනුවෙන් අතීත සිංහලයේ රේගුව නම් ලද්දේය. කෝට්ටේ යුගයේ මේ ආකාරයට රේගු බදු අය කිරීම විධිමත් ආකාරයෙන් කරන ලද බවට සාධක හමුවන්නේය. බදු අය කිරීම බුවනෙකබාහු රජුගේ කාලයේ හඳුන්වා ඇත්තේ කරවුවර ලෙසය. ලන්දේසි යුගයේදි රේගු බද්ද අල්ෆන්ඩිගෝ නම් දරා ඇති අතර ඉංග්‍රීසි භාෂාවෙන් එය කස්ටමස් ලෙස හඳුන්වයි. මේ යෙදුම සහ ඉංග්‍රීසින්ගේ රේගු ක්‍රියාවලිය ගුරුකොට ගෙන වත්මන් ශ්‍රී ලංකාවේ රේගු කාර්ය දියත් වන්නේය.

පසුගිය දිනවල රේගුව සිටියේ හොට් සීට් එකේය. වර්ජනයක් සඳහා රේගුව යොමු වූ කල්හි මේ රටේ සියලු ජනයා වෙත තනි ඇහැට කඳුළු ආ යුත්තේය. රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ඇති මර්මස්ථාන මේ ආකාරයට අලකලංචියට පත්වන්නේ අප රිම් එකෙන් දුවන විටකය. ආර්ථික අර්බුදයේ මුල් සමයේ නැව් ආවා ගියා වුවද බඩු බා ගැනීම සඳහා ක්‍රමයක් අපට තිබුණේ නැත. තෙල් නැතිව ජනී ජනයා පෝලිමේ සිට, කාඩ් ගසමින්, කැරම් ක්‍රීඩා කරමින් දවස ගෙවන විට, තෙල් නැව වරායට ලෑන්ඩ් කර, බාන්නේ නැතිව සිටියේය. ඒ සඳහා අවශ්‍ය ඩොලර් රටේ තිබුණේ නැති හෙයින් නැව ආවා වුවද අප පෝලිමේය. තෙල් සංස්ථාව ණයෙන්මැ තෙම්පරාදු වී සිටි බැවින් බැංකුව ඒ සඳහා වන වියදම් ලබාදුන්නේ නැත. තවදුරටත් එහෙම නොලැබෙන ණය දුන්නේ නම් රාජ්‍ය බැංකු දෙකම මේ වන විටත් වෙන්දේසියේ අලෙවි වී ගොසිනි. තෙල් අවුල විසඳීම ඒ කාලයේ කැබිනට් මණ්ඩලයේ ප්‍රධාන කාර්ය විය. නැවේ වියදම් ආදිය ගණන් හදා කැබිනට් මණ්ඩලය ඒ සඳහා යන සියලු ගණනය කිරීම් සිදු කර, ජනාධිපතිවරයා රාජ්‍ය බැංකු ප්‍රධානීන් අමතා, වැඩේ අවුලක් නැති බැවින් තෙල් ගැනීම සඳහා වන ඩොලර් නිදහස් කරන ලෙස අණ දෙන්නේය. වැඩි කාලයක් නැත, වසර දෙකකට පමණ පෙර මේ රටට තෙල් ආවේ එහෙමය. රේගුවෙන් බඩු ගෙන්වා ගැනීමට, රටේ ඩොලර් සංචිත තිබුණේ නැත.

එහෙව් පෝලිම් යුගයක අවසානය ඉබේ ලකුණු වූයේ නැත. ඒ සඳහා දරන ලද වැර වෑයම සහ නායකත්වය හේතුවෙන් අද මේ රට යන්තම් හුස්ම ගන්නේය. මේ සිංහල අවුරුද්ද, නිල් වස්ත්‍රයෙන් සැරසී, මධ්‍යම රාත්‍රියේ සැමරීම සඳහා ආර්ථික හයිය සමාජයට ලැබෙන්නේ එහෙමය.

ඒ කාලය නිම වූ වහාම රේගුව සටනකට බැස්සේය. නිමිත්ත වූයේ, රේගු ත්‍යාග අරමුදල මහා භාණ්ඩාගාරයට පවරා ගැනීමය. රේගු ත්‍යාග අරමුදල, මුදල් අමාත්‍යාංශය භාරයට ගෙන ඇති බවත්, එය අසාධාරණ බවත් පවසමින් රේගු නිලධාරීන්, රේගු අධිකාරීවරුන් සහ රේගු මාණ්ඩලික නිලධාරීන් අතිකාල සේවයෙන් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට මාර්තු 15 වනදා පස්වරුවේ සිට එළැඹුණි.

ඔහොම වැඩක් යන කළ අස්වැන්න පසෙක තියා වල් නෙළීම ආරම්භ කරන කාණ්ඩයක් වන්නේය. රටේ ජනතාවගේ භාණ්ඩ සඳහා ඒතරම් බලපෑමක් මේ වර්ජනය නොකළේ වුවද, කර්මාන්ත ශාලා සඳහා අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීම හිරවීම හේතුවෙන් කර්මාන්තකරුවෝ ඇඹරෙන්නට පටන් ගෙන තිබුණි.

ඒවා පුවත් මවන හෙයින් සියලු මාධ්‍ය රසකරමින්, කිරට සහ මිරිසට යන දෙකටම රේගු වර්ජනයේ ප්‍රතිඵල රටට බෙදන්නට පටන් ගත්තේය. ඒවා වෙනම ආතල්ය. ආනයනික භාණ්ඩ ඇතුළත් බහාලුම් තුන්දහස් පන්සියයක් මේ වර්ජනය නිසා සිර වී ඇතැයි එක් මාධ්‍යයක් උඩ පැන්නේය. තව මාධ්‍යයක එම ප්‍රමාණය හයදාහ දක්වා උඩ දමා, තත්ත්වය තවත් බරපතළ කළේය. මේ සියල්ලෝ සිටියේ වැඩේ දුර ගොස් ආයෙත් පුවත් මවන යුගයක් එනතුරුය. මේවා ආණ්ඩුව අඹරා දැමීම සඳහා පළ කරන පුවත්ය. එහෙම සුබ සිහින දකින කෙනාගේ පැතුම යළිත් රට පෝලිමේ ගාල් වනු දැකීමය.

එතකොට ප්‍රශ්නය වෙන ආකාරයකට විකිණිය හැකිය. ඡන්දය ද ළඟ ළඟ එන්නේ බැවින් ආණ්ඩුව සමතලා කර දැමීම සඳහා, මේ ජාතියේ ගල් රෝල් අවශ්‍ය යැයි සිතන පිරිසක් වේ.

වර්ජන සහ අකුරට වැඩ යන වචන කිහිපය ඇසුණු කල්හි රටේ ජනී ජනයාගේ ඇඟ පත සලිත විය යුත්තේය. වර්ජනයෙන් අවසාන දුක අත්වන්නේ ජනතාවටය. මේ රටේ ඒ කතාව හැරී ඇත්තේ වෙන අතකටය. වර්ජනයක් සඳහා කිසිදු සාධාරණ හේතුවක් තිබිය යුත්තේ නැති බව මේ තීරුවේ අදහසය. වර්ජන ආදී කතා මීට පෙර දශකයේ දේ හෙයින් දැන් ඒවා කෞතුකාගාරයේ තැන්පත් කළ හැකිය. මේ කාලයේ වර්ජනය යනු සේවයෙන් ඉවත් කිරීම සඳහා වන කාරණයකි. වර්ජනය ආණ්ඩු විරෝධයක් වන්නේ ළඟ බලන අයටය. එය සපුරාම රටේ ආර්ථිකයට සහ ජන ජීවිතයට සිදු කරන පීඩාවකි. මහජන ධනය උකසට තබා තම ඉල්ලීම් දිනා ගැනීම සඳහා වර්ජන දියත් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවට මේ රට පත් කළ යුත්තේය. වැඩට එන්නේ වැටුපක් සඳහා සේවය කිරීමටය. එතැනදී තම වෘත්තිය මට්ටමට අවුල්සහගත දේ වන්නේ නම් වැඩ වර්ජනය නොමැතිව අනෙක් සියලු ක්‍රියා මාර්ග සඳහා සේවකයාට යා හැකිය.

සේවාව ඇපයට හෝ උකසට තබා වර්ජන කිරීමේ මාදිලිය සඳහා මේ ආර්ථික අවපාත අවස්ථාවේම පියවරක් ගත යුත්තේය. ජනයාගේ අයිතිය පැත්තෙන් මිස සේවක අයිතිවාසිකම් බලා ආයතන පවත්වාගෙන යන්නේ නැත. ජනතාව වෙනුවෙන් සේවය සිදු කරන ආයතනයක, සේවකයාගේ අයිතිය ජනතාවගේ සේවාව පරයා ඉහළට ගත නොහැක්කේය. මේ නිසා වර්ජන ආදිය දැන් භාෂාවෙන් ඉවත් කර ඒ වෙනුවට සේවක අයිතිය සඳහා වෙන මොඩල් එකක් බිල්ඩ් අප් කළ යුත්තේය. රේගුවේ අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරය පෙරේදා රාත්‍රියේ අවසන් විය.

ඊළඟ වර්ජනය කවදා එන්නේ දැයි බලා සිටින පිරිස දැන් නින්දට වැටී සිටිනවා ඇත. එහෙම රටක් මේ ආකාරයෙන් හෝ දුවනවා කියන එක ගැන සන්තෝෂයෙන් අද තීරුව අවසන්ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT