Home » පාසල් විෂය නිර්දේශයට AI හඳුන්වා දීම ගැන අගමැති ‘මයික්‍රොසොෆ්ට්’ට තුති පුදයි

පාසල් විෂය නිර්දේශයට AI හඳුන්වා දීම ගැන අගමැති ‘මයික්‍රොසොෆ්ට්’ට තුති පුදයි

by sachintha
March 21, 2024 1:00 am 0 comment

කෘත්‍රිම බුද්ධි අධ්‍යාපනය ජාතික පාසල් විෂය නිර්දේශයට හඳුන්වා දීම පිළිබඳ මයික්‍රොසොෆ්ට් ආයතනයට සිය ස්තුතිය පුදකර සිටින බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

මයික්‍රොසොෆ්ට් ඉන්දියා සහ දකුණු ආසියා සභාපති පුනීත් චන්දොක් (Puneet Chandok) මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අරලියගහ මන්දිරයේ දී අගමැතිවරයා පෙරේදා (19) හමු වූ අවස්ථාවේ අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය සහ විශේෂයෙන් අධ්‍යාපන හා සමාජ ප්‍රතිලාභ ක්ෂේත්‍ර සඳහා මයික්‍රොසොෆ්ට් සමාගමේ දායකත්වය පිළිබඳ අගමැතිවරයා ප්‍රසාදය පළ කළේය.

පසුගිය දශක දෙක තුළ මයික්‍රොසොෆ්ට් ආයතනයේ ශ්‍රී ලංකාවේ ගමන්මඟ පිළිබඳ පුනීත් චන්දොක් මහතා අගමැතිවරයාට මෙහිදී පැහැදිලි කළේය.

තරුණ පරම්පරාව අනාගත අභියෝග සඳහා සූදානම් කිරීම අරමුණු කරගෙන කළ කෘත්‍රිම බුද්ධි (AI) අධ්‍යාපනය ඒකාබද්ධ කිරීම මඟින් ජාතික පාසල් විෂය නිර්දේශය වෙනස් කිරීමේ සිය නවතම ව්‍යාපෘතිය පිළිබඳව ද ඔහු පැහැදිලි කළේය.

මෙම නියමු වැඩසටහන දැනට පාසල් 20ක ක්‍රියාත්මකව පවතියි.

මයික්‍රොසොෆ්ට් සමාගම ඉදිරි වසර 20ක කාලය තුළ ලංකාවේ අඛණ්ඩව බලගැන්වීම සඳහා මයික්‍රොසොෆ්ට් ආයතනයේ දැක්ම සහ උපායමාර්ගික සැලසුම්, තාක්ෂණ හුවමාරුව, නවෝත්පාදන සහ ඩිජිටල් පරිවර්තන මුලපිරීම් පිළිබඳ නියෝජිත පිරිස මෙහි දී අවධානය යොමු කරනු ලැබීය. මතුවෙමින් පවතින නව තාක්ෂණය, ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය ඇතුළු සංවර්ධනයේ විභව ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාව කලාපීය තාක්ෂණික කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමට මයික්‍රොසොෆ්ට් සමාගම සහාය සැලසුම් කරන ආකාරය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළහ.

මයික්‍රොසොෆ්ට් නියෝජිත පිරිසට මෙරට කළමනාකරු හර්ෂ රන්දෙණිය, දකුණු ආසියානු ප්‍රධානි සමික් රෝයි (Samik Roy), ප්‍රාදේශීය අධ්‍යාපන ප්‍රධානි ලැරී නෙල්සන් සහ කාර්යාංශයේ ප්‍රධානි සක්රි ශේනු, පාර්ලිමේන්තු මන්ත්‍රි යදාමිණි ගුණවර්ධන, අගමැති ලේකම් අනුර දිසානායක, මාධ්‍ය උපදේශක සුගීස්වර සේනාධීර මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT