පාර්ලිමේන්තු මන්ත්‍රි අමරවීර අතුකෝරල මහතා ඇතුළු ත්‍රිපුද්ගල ඝාතන නඩුවේ තුන්වැනි විත්තිකරු නඩු විභාගය පැවැති ඊයේ (22) ඒ සඳහා පෙනී නොසිටීමේ හේතුවෙන් ඔහුට නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතේ වරෙන්තු කැඳවීමක් කරන ලෙස ගම්පහ මහාධිකරණය නියෝග කළේය.
රංජිත් මාපාබණ්ඩාර මහතාගේ සභාපතිත්වයෙන් යුත් රුවන් පතිරණ හා රශ්මි සිංගප්පුලි යන මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල (22) ඊයේ එම නියෝගය නිකුත් කළේය.
එම තුන්වැනි චූදිත වන ගයාත්‍ර දේශාන් නමැති අය ඊයේ නඩු විභාගය ආරම්භ කළ අවස්ථාවේදී දුරකථන පණිවිඩයක් මඟින් ඔහුගේ මිතුරකු වෙත තමා කඩවත ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවට කළ දැනුම් දීමක් මත විමර්ශනය කිරීමෙන් අනතුරුව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ඔස්වෙල් පෙරේරා මහතාගේ ඉල්ලීමකට අනුව මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල එම නියෝගය නිකුත් කළේය.
මෙහිදී වැඩිදුරටත් මහාධිකරණය හමුවේ කරුණු දක්වා සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා පැවැසුවේ ඊයේ දිනයේදී මුල් සටහන් පොත නොමැතිවීම හේතුවෙන් මෙම නඩු විභාගය අද දිනට කල් තැබූ බවත් අද දිනයේ නඩු විභාගය ආරම්භ කළ අවස්ථාවේදී තුන්වන චූදිත මේ ආකාරයට අධිකරණය මගහැරීම බලවත් වරදක් වන බවත්ය.
මෙය ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග වන නඩුවක් ප්‍රදේශ තුනක මහාධිකරණ විනිසුරුවරුන් තමන්ගේ රාජකාරි කල් දමා රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥවරුන් රජයේ නිලධාරීන් ඒ වගේම විත්තියේ නීතිඥවරුන් ඇතුළු විශාල පිරිසක් තම සියලු රාජකාරි කටයුතු කල් දමා මෙම නඩු විභාගයට සහභාගි වෙනවා.මේ ආකාරයට සිදුකරන මෙවැනි නඩු විභාගයක් හමුවේ පෙනී නොසිටීම බලවත් වරදක්. ඒ වගේම කාලය විනාශ කිරීමක් හා බලවත් පාඩුවක්.මේ ක්‍රියාව හේතුකරගෙන තුන්වැනි විත්තිකරු වහාම අත්අඩංගුවට ගෙන නඩු විභාගය අවසන් වන තුරු රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස ඉල්ලා සිටිනවා තවද අනෙකුත් සැකකරුවන් ද රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස ඉල්ලා සිටිනවා. ඒ ඉදිරියේදීත් මෙවැනි ක්‍රියා නිසා අධිකරණයේ නඩු විභාග කටයුතු තව තවත් කල්දැමීමට සිදුවන නිසයි.
මෙහිදී විත්ති පාර්ශ්වය වෙනුවෙන් කරුණු දක්වා සිටි ජනාධිපති නීතිඥ උපාලි මොහොට්ටි මහතා පැවැසුවේ එක් චූදිතයකයකුගේ ක්‍රියාකලාපය හේතු කරගෙන අනිත් සියලුම දෙනා ගැන එවැනි තීන්දුවක් ගැනීම අසාධාරණයක් වන බවය. චූදිතයන්ට ඇප නියම වන්නේ එක් එක් අයට වෙන් වෙන් වශයෙන් බලපාන පොදු ඇප කොන්දේසි අනුවයි. තුන්වැනි චූදිත වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ගයට අපගේ විරුද්ධත්වයක් නොමැති බව පැවැසූ ජනාධිපති නීතිඥවරයා අනෙකුත් චූදිතයින් හට එම ක්‍රියාමාර්ගය නොගන්නා ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කර සිටියේය.
ඒ අනුව මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල තුන්වැනි චූදිත නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ මාර්ගයෙන් වරෙන්තු ක්‍රියාත්මක කොට අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කළහ. රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා සමග රජයේ අධිනීතිඥ කේ. අල්විස්, සුපේසලා තිලකවර්ධන මහත්මිය නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියහ.