දකුණු කොරියාවේ ඉන්චියොන් වෙත යෑමට සූදානම්ව සිටි මගීන් 217ක් රැගත් UL 470 අංක දරන ගුවන් යානය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් නියමිත වේලාවට පිටත්වීමට නොහැකි වූ බව ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රකාශ කරයි. ගුවන් යානය ප්‍රමාද වී පිටත්වීමට අවසර ගැනීමෙන් පසුව පසුගියදා (20) උදෑසන පෙරවරු 7.23ට දකුණු කොරියාවේ ඉන්චියොන් වෙත මගීන් 117ක් සමඟ පිටත්විය. කොරියාවේ මානව සම්පත් සංවර්ධන ආයතනය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සම්බන්ධීකරණයෙන් පසු රැකියාවලට දකුණු කොරියාවට යෑමට සිටි ඉතිරි මගීන් 100 දෙනා මේ මස 24දා දකුණු කොරියාවේ ඉන්චියොන් වෙත රැගෙන යෑමට ශ්‍රී ලංකන් ගුවන් සේවය පහසුකම් සලසා තිබේ. සිදු වූ ප්‍රමාදය හේතුවෙන් දකුණු කොරියාවේ ඔවුන්ගේ රැකියාවලට බලපෑමක් ඇති නොකරනු ඇතැයි අපේක්ෂා කරයි.
ගුවන් යානය ප්‍රමාදවීම නිසා අපහසුතාවට පත් වූ සිය ගුවන් මගීන් වෙත ශ්‍රීලංකන් ගුවන් සේවය සිය කනගාටුව පළ කරන අතර නිරන්තරයෙන් මගීන්ට සුව පහසු සංචාරක අත්දැකීමක් ලබාදීමට ගුවන් සමාගම දැඩි ලෙස කැප වී සිටින බව ද ශ්‍රීලංකන් ගුවන් සේවය පවසයි. විදෙස් රැකියා සඳහා පිටත්ව යන මගීන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ අගයක් ගන්නා ගනුදෙනුකරුවන් වන අතර මෙවැනි සිදුවීම් නැවත ඇතිවීම වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය කඩිනමින් පියවර ගනිමින් සිටී.