- වැඩිම පිරිස බස්නාහිර පළාතෙන්
- විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක අනතුරු අඟවයි
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තුවලට අනුව වසරකට ක්ෂය රෝගීන් 14000ක් පමණ හඳුනාගත යුතුයි. නමුත් ශ්‍රී ලංකාවේ රෝගීන් 8000 – 9000 ක් අතර ප්‍රමාණයක් තමයි වාර්තා වෙන්නේ. ඒ අනුව වසරකට හඳුනා නොගත් රෝගීන්ගේ ප්‍රමාණයත් 4000 – 5000 අතර පවතිනවා.
2023 වසරේ වාර්තා වූ මුළු ක්ෂය රෝගීන් සංඛ්‍යාව 9538ක් වන බවත් එය 2022 වර්ෂයට සාපේක්ෂව 14.3% ක වර්ධනයක් බවත් විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව පැවසුවේ මේ මස 24 වැනිදාට යෙදෙන ලෝක ක්ෂය රෝග දිනයට සමගාමීව පසුගියදා (20) කොළඹ දී පැවැති ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳව මාධ්‍ය දැනුම්වත් කිරීමේ වැඩසටහනකට එක් වෙමිනි.
2015 වසරට සාපේක්ෂව ක්ෂය රෝගීන් වාර්තාවීම සියයට 90කින්ද, මරණ සිදුවීම සියයට 95කින්ද අඩු කිරීම මඟින් ශ්‍රී ලංකාව 2035 වසර වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්ෂය රෝග නිවාරණ ඉලක්ක සපුරා ගැනීම ප්‍රධාන අරමුණ වේ.
එහිදී වැඩිදුරටත් නෙරංජන් දිසානායක මහතා මෙසේද පැවසීය.
වර්තමානයේ වාර්තා වන රෝගීන් ප්‍රමාණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තුගත ප්‍රමාණයට (62/100,000) වඩා අඩු වුවත් 2023 වසරේ වාර්තා වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 9267ක් වන අතර එය 2022 වසරට සාපේක්ෂව 14% ක වැඩි වීමකි.
වර්තමානයේ දිවයිනේ වැඩිම ක්ෂය රෝගීන් ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් (46% ක්) වාර්තා වෙනවා. රෝගය බෝවීම වැළැක්වීම සඳහා නියමිත ප්‍රතිකාර සහතික කිරීම සහ සංකූලතා වැළක්වීම සඳහා කල්තියා හඳුනා ගැනීම ඉතා වැදගත්. ළමයින් අතර ක්ෂය රෝගය හඳුනා ගැනීම ඉතා වැදගත් යැයි ප්‍රකාශ කළේය. වෛද්‍යවරුන්, මාධ්‍යවේදීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.
ඡායාරූප – විමල් කරුණාතිලක