ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා පසුගිය 19 වැනිදා ගාල්ල, දොඩන්දුව, හික්කඩුව, පැරෑලිය, අම්බලන්ගොඩ, බේරුවල සහ පාණදුර ධීවර වරායන්හි කටයුතු නිරීක්ෂණය කිරීමේ චාරිකාවක නිරත විය. මෙහිදී ධීවර වරායන් ගණනාවක පවත්නා අඩුපාඩු රැසක් හඳුනාගත් ඇමැතිවරයා ඒවාට අවශ්‍ය පිළියම් කඩිනමින් දෙන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ගාලු වරාය නිරීක්ෂණය කළ ඇමැතිවරයා එහි ඇති පානීය ජලය බෙදා හරින ටැංකිවල තිබෙන අඩුපාඩු වහාම සපුරාලන ලෙසත්, එහි සවි කර තිබෙන CCTV පද්ධතිය අලුත්වැඩියා කරන ලෙසත් නිලධාරින්ට උපදෙස් දුන්නේය. එම වරාය ජැටිය අබලන්ව තිබෙන බැවින් එය අලුත්වැඩියා කරන ලෙස ද ධීවර වරාය සංස්ථාවේ සාමාන්‍යාධිකාරිවරයාට උපදෙස් දෙන ලදි.
දොඩන්දුව ධීවර වරාය නිරීක්ෂණය කළ ඇමැතිවරයා එහි තිබෙන බීකන් ලාම්පු දෙකම අබලන්ව තිබූ බැවින් එය දෙසතියකින් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙසට උපදෙස් දුන් අතර, එම වරාය මෝය කටේ පිරී ඇති වැලි ඉවත් කරන ලෙස ද කීවේය. සංචාරක මඟපෙන්නන්ගේ නායකයන් කිහිප දෙනකු කැඳවූ ඇමැතිවරයා විදේශීය සංචාරකයන්ගේ විනෝදාස්වාදය සඳහා යොදා තිබෙන සර්පින් ක්‍රීඩාවෙන් ධීවරයන්ගේ බෝට්ටුවලට හානි සිදු නොවන ලෙසට කටයුතු කළ යුතු බවත්, ඒ සඳහා සුදුසු ස්ථානයක් වෙන් කර දෙන ලෙසත් උපදෙස් දුන්නේය.
හික්කඩුව ධීවර වරාය නිරීක්ෂණය කළ ඇමැතිවරයා උපදෙස් දුන්නේ අබලන් වූ ජැටිය වහාම ප්‍රතිසංස්කරණය කරන ලෙසයි. එහි මෝය කටේ වැලි ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ඇමැතිවරයා කීවේය. පැරෑලිය ධීවර වරායේ ජැටිය වැලි පිරී විනාශවී තිබෙන බැවින් එය නැවත සකස් කිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා ලෙසට නිලධාරීන්ට ඇමැතිවරයා උපදෙස් දෙන ලදි.
අම්බලන්ගොඩ වරායේ තිබෙන ප්‍රධානතම ගැටලුව වූයේ එහි ඇති දෛනික බෝට්ටුවලට භූමිතෙල් ඉන්ධන දීමට අවශ්‍ය පොම්පාගාරයක් නොමැති වීමයි. එය ද හැකි ඉක්මනින් දෙන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් ඇමැතිවරයා එහි දැල් පිරිසිදු කිරීමට තිබූ ගොඩනැඟිල්ලේ වහළ සම්පූර්ණයෙන් අබලන්වී ඇති නිසා එය ප්‍රතිසංස්කරණය කර එහි සෝලා පද්ධතියක් සවි කරන ලෙසට දැන්වීය.
බේරුවල වරාය නිරීක්ෂණය කළ ඇමැතිවරයා එහි තිබෙන කසළ නිසා එම පරිසරය විනාශවී අපවිත්‍රවී තිබෙන බැවින් එය කසළ ඉවත්කොට පිරිසිදුව තබා ගන්නා ලෙස ද කීවේය.
ඇමැතිවරයා පානදුර ධීවර වරාය නිරීක්ෂණය කළ අවස්ථාවේදී එහි පැමිණි ධීවරයන් පවසා සිටියේ මේ ධීවර වරාය මෝය කටේ වැලි ඉවත්කිරීම දැනට සිදු කරගෙන යන සමාගම නිසි ලෙස එය සිදු නොකරන බවයි. එහිදී ඇමැතිවරයා ප්‍රකාශ කළේ මේ පිළිබඳව හැකි ඉක්මනින් සොයා බලා එහි ගැටලු ඇත්නම් ඒ සඳහා සුදුසු ආයතනයකට මේ කොන්ත්‍රාත්තුව දී මේ ගැටලුව විසඳා දෙන බවයි.