ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ සහයෝගීතාව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනී හසන්ති දිසානායක මහත්මිය සහ එරට ජාතික අධ්‍යාපන ඇමැති යූසුෆ් ටෙකින් මහතා අතර සාකච්ඡාවක් අන්කාරා නුවරදී ඉකුත්දා (19) පැවැත්විණි.
අධ්‍යාපනයේ සහ ඒ ආශ්රිත කරුණුවල සහයෝගීතාවයේ නිම් වළලු තවදුරටත් පුළුල් කරගැනීමේ අවශ්‍යතාව සහ පවතින අවස්ථා පිළිබඳව දෙපාර්ශ්වයම එකඟතාව පළ කළ අතර, එමඟින් ආර්ථික ප්රතිලාභ ද අත්කර ගත හැකි බව අවධාරණය කෙරිණි.
ශ්‍රී ලංකාව නැවතත් සංචාරකයන්ට ජනප්‍රිය ගමනාන්තයක් බවට පත්ව ඇති බව තානාපතිනිය අවධාරණය කළ අතර, ෆෝබ්ස් සඟරාව පසුගියදා ශ්‍රී ලංකාව එහි සිව්වැනි ස්ථානයේ සිටින බව ප්‍රකාශයට පත් කළ බවත් සඳහන් කළාය. පුරාවිද්‍යා ක්ෂේත්රය තුළ එකිනෙකාගේ හොඳම භාවිතයන් ඉගෙනගැනීමට දෙරට අතර හුවමාරු කරගැනීම මෙන්ම පුරාවිද්‍යාව හදාරන තරුණ සිසුන් සංචාරක ක්ෂේත්රයේ වෘත්තීන්වල යෙදීමට දිරිමත් කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
තුර්කියේ ජනරජය සහ ශ්‍රී ලංකාව අතර උසස් අධ්‍යාපනය පිළිබඳ අවබෝධතා ගිවිසුමට කඩිනමින් අත්සන් තබනු ඇතැයි ශ්‍රී ලංකා තානාපතිනිය විශ්වාසය පළ කළ අතර, එය සිසුන්, විද්වතුන් සහ පර්යේෂකයන් හුවමාරු කරගැනීමට මඟ පාදනු ඇති බවයි. ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක ක්ෂේත්‍ර පිළිබඳව තුර්කි රජය, එරට පදනම් සහ විශ්වවිද්‍යාල විසින් පිරිනමන ශිෂ්‍යත්ව සඳහා තානාපතිනිය ස්තූතිය පළ කළාය. තුර්කියේ සිටින ශ්‍රී ලාංකික සිසුන් මුහුණ දෙන ගැටලු විසඳීමෙන් ශ්‍රී ලාංකික සිසුන් වැඩිපුර තුර්කිය වෙත පැමිණීමට දිරිගැන්වෙන බව සඳහන් කළාය. අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමත් සමඟ ද්වි-පාර්ශ්වික සහයෝගිතාව ඵලදායී ලෙස ඉහළ යනු ඇතැයි ඇමැතිවරයා විශ්වාසය පළ කළේය.
ඇමැති ටෙකින් මහතා 2024 ජුනි මාසයේදී පැවැත්වීමට නියමිත තුර්කි ශ්‍රී ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ ඒකාබද්ධ කමිටුවේ සභාපතිවරයා ද වේ.