ශ්‍රී ලාංකේය කුළු බඩුවල එයටම ආවේනික වූ උසස් රසය සහ සුවඳ නිසා ඈත අතීතයේ පටන්ම ශ්‍රී ලංකාව කුළුබඩු සඳහා කීර්තියක් අත්පත් කරගෙන තිබිණි. එබැවින් ශ්‍රී ලාංකේය කුළුබඩු සඳහා ලෝක වෙළෙඳපොළේ ඉහළ මිලක් සහ හොඳ ඉල්ලුමක් පවතී. එහෙත් අස්වැන්න නෙළා ගත් පසු ඒවා සකස් කර වියළා ගැනීමේදී පවතින දුර්වලතා හේතුවෙන් අවසන් නිෂ්පාදනයේ සෞඛ්යාරක්ෂිතභාවය පිළිබඳව ගැටලු පවතින නිසා ඉහළ මිලක් ගෙවන යුරෝපීය සහ අමෙරිකානු රටවල් ඇතුළු සංවර්ධිත රටවල රසායනික සහ ක්ෂුද්‍ර ජීවී ගුණාත්මක නිර්ණායකයන් සපුරා ගැනීමට අපගේ කුළුබඩුවලට අසීරු වී තිබේ. මේ හේතුවෙන් තවමත් දේශීය කුළුබඩුවල ප්‍රධානම ගැනුම්කරුවා වන්නේ ගුණාත්මය ගැන වැඩි සැලකිල්ලක් නොදක්වන අඩු මිලක් ගෙවන ඉන්දියාවයි. මේ හේතුවෙන් රටට ලබා ගත හැකි විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අහිමිව යන අතර මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු කරමින් පවතියි.
කුළුබඩු සකස් කරගැනීමේ ක්‍රියාවලියේදී වැදගත්ම පියවර වන්නේ වියළීමයි. දැනට කුළුබඩු වගාකරුවන්, එකතු කරන්නන් සහ සැකසුම්කරුවන් කුළුබඩු වියළා ගන්නේ එළිමහන් හිරු එළිය භාවිත කරමිනි. මෙලෙස කුළුබඩු එළිමහනේ හිරු එළිය ආධාරයෙන් වියළා ගැනීමේ දී ගැටලු කිහිපයක් පැන නඟී. වැසි සහිත දිනවල නිසි ලෙස වියළා ගැනීමට නොහැකිවීමෙන් බැක්ටීරියා සහ දිලීර වර්ග පහසුවෙන් ඒ මත වර්ධනය වේ. මෙම දිලීර වර්ග මඟින් මයිකොටොක්සින්ස් (mycotoxins) වැනි පරිවෘත්තියමය විෂ වර්ග ශ්‍රාවය කරයි. ඒවා අතර ප්‍රමුඛ මයිකොටොක්සින් විෂ වර්ග දෙක වන්නේ Aspergillus ගණයට අයත් දිලීරවලින් ශ්‍රාවය කරන ඇෆලටොක්සින් (Aflatoxin ) සහ Aspergillus and Penicillium කාණ්ඩයට අයත් දිලීර වර්ගවලින් ශ්‍රාවය කරන ඔක්රටොක්සින්ස්ය. (Ochratoxins). මෙලෙසම කුළුබඩු මත ආහාර විෂ වීමට හේතුවන Salmonella සහ Escherichia coli බැක්ටීරියා වර්ග ද වැඩීම මඟින් ආහාරයේ සුරක්ෂිතතාව නැතිවේ. තවද එළිමහනේ වියළීමේදී, පරිසරයේ ඇති දූවිලි සහ සතුන්ගේ මල මූත්‍ර ආදිය කුළුබඩු වලට එකතු වේ. සූර්යාලෝකය ආධාරයෙන් සිමෙන්ති පොෙළාව මත කෙලින්ම වියළා ගැනීමේදී වියළීම සිදුවන උෂ්ණත්වය පාලනය කරගත නොහැකි වේ. මෙලෙස එළිමහනේ හිරු එළියේ වියළීම නිසා ඉහත සඳහන් කළ දුර්වලතා හේතුකොටගෙන අවසන් නිෂ්පාදනයේ ගුණාත්මකභාවය අඩු වේ.
මෙම ගැටලුවලට පිළියමක් වශයෙන් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවි මහතුන්ට කෘත්‍රිම වියළන භාවිතය නිර්දේශ කරයි. කෘත්‍රිම වියළන භාවිත කරමින් කුළුබඩු ඉතා උසස් ගුණාත්මයෙන් යුතුව වියළා ගත හැකිය. දූවිලි සහ නොයෙකුත් අපද්‍රව්‍ය කුළුබඩු සමඟ මිශ්‍ර නොවීමත් වැසි සහිත කාලගුණ තත්ත්වවලදී පවා බාධාවකින් තොරව වියළා ගත හැකි වීමත්, වියළීම සිදු වන උෂ්ණත්වය පාලනය කරගත හැකිවීමත් මේවායේ ඇති වාසි කිහිපයකි. එම නිසා අවසානයේදී ගුණාත්මකභාවයෙන් ඉහළ නිෂ්පාදනයක් ලබා ගත හැකි අතර, එය වැඩි මිලකට විකුණාගත හැකි වීමෙන් ගොවි මහතුන්ට සහ සැකසුම්කරුවන්ට මහඟු වාසියක් සැලසේ. එබැවින් කුළුබඩු බෝග වගාකරුවන්ට සහ සැකසුම්කරුවන් අතර වියළන යන්ත්‍ර භාවිතය ප්‍රචලිත කිරීම සදහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පසු අස්වනු තාක්ෂණ ආයෝජන ක්‍රමයක් 2007 වසරේ සිට හඳුන්වා දී තිබේ. ඒ යටතේ විජලන යන්ත්‍රය සඳහා වියදම් කෙරෙන මුදලින් 30 – 40% පමණ මුදලක් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නැවත ප්‍රතිපූර්ණය කරනු ලැබේ.
කෘත්‍රිම වියළනයකදී කුළුබඩු විජලනය සඳහා භාවිත කළ යුත්තේ 600 C ට වඩා අඩු උෂ්ණත්වයකි. උෂ්ණත්වය 600 C ට වඩා වැඩි වුවහොත් කුළුබඩුවල වාෂ්පශීලී රසායනික සංයෝග ඉවත්වී ගුණාත්මය පහළ යයි. එමනිසා කිසි ලෙසක වත් වියළනයක උෂ්ණත්වය 600 C ට වඩා වැඩි වීමට ඉඩ නොදිය යුතුය . කෘත්‍රිම වියළන ආධාරයෙන් වියළා ගැනීමේදී නොකඩවා එක දිගට වියළීම සිදු නොකළ යුතුය. මුලින්ම කුළුබඩු අර්ධ වශයෙන් වියළා ප්‍රමාණවත් විවේක කාලයක් ලබා දිය යුතුය. මෙලෙස විවේක කාලයක් දීමෙන් බලාපොරොත්තු වන්නේ ආහාරයේ මැද කොටසේ ඇති ජලය ආහාරය මතුපිටට පැමිණීම සඳහා කාලයක් ලබා දී ඉවත් කිරීමට අවශ්‍ය ජලය පහසුවෙන් වියළීමේදී ඉවත් වීමට ඉඩ සැලසීමයි. අනතුරුව විවේක කාලයෙන් පසුව එක දිගට අඛණ්ඩව අවශ්‍ය ප්‍රමාණයට තෙතමනය අඩු වන තෙක් වියළීම සිදු කෙරේ.
ආහාර වර්ග වියළීම සඳහා විවිධ වියළන වර්ග භාවිත කෙරේ. ඒ අතරින් මේ වනවිට කුළුබඩු වියළීම සඳහා වියළන වර්ග 03 ක් බහුල වශයෙන් භාවිත කෙරේ. එනම් සූර්ය වියළන, කැබිනට්ටු ආකාර තැටි වියළන සහ පෙට්ටි ආකාර සමතල තට්ටු වියළන වේ. සූර්ය වියළන මගින් අඩු වියදමකින් කුළුබඩු වර්ග වියළා ගැනීමට හැකි අතර, හදිසි වැසි සහිත කාලගුණ තත්ත්වවලදී ආහාර ද්‍රව්‍ය නොතෙමී ආරක්ෂා කරගත හැකිය. වෙෙළඳපොළේ පවතින කැබ්නෙට්ටුවල ආකාර වියළන වල ධාරිතාව. කි.ග්‍රෑම් 10 සිට 400 දක්වා සහ පෙට්ටි ආකාර වියළන වර්ගවල ධාරිතාව කි.ග්‍රෑම් 250 සිට 3000 දක්වා පමණ වේ. මෙම වියළනවල ඉන්ධන ලෙස දර, දහයියා, භූමිතෙල් සහ ඩීසල් භාවිත කිරීමට හැකිය. සැකසුම් ස්ථානය පිහිටා ඇති පරිසරය අනුව වියළනයට ගැළපෙන ඉන්ධන වර්ගය ද, තමන්ගේ නිෂ්පාදන ධාරිතාව අනුව ගොවි මහතුන්ට සහ කුළුබඩු සැකසුම්කරුවන්ට තමන්ට ගැළපෙන වියළන වර්ගය තෝරා ගත හැකිය. කැබිනෙට්ටු ආකාරයේ වියළන හා සැසඳීමේදී ධාරිතාව වැඩිවීමත් කුළුබඩු වියළනයට දැමීම, ඉවත් කිරීම, වරින්වර මිශ්‍ර කිරීම පහසුවීමත් නිසා පෙට්ටි ආකාර වියළන යන්ත්‍රවල වියළන වියදම කැබිනෙට්ටු ආකාර වියළනයකට වඩා සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු බැවින් එම වියළන භාවිතය කුළුබඩු කර්මාන්තයේ ජනප්‍රිය වෙමින් පවතියි.
මෙලෙස වියළන භාවිත කර ලබාගන්නා උසස් ගුණාත්මයේ කුළු බඩු යුරෝපා, අමෙරිකානු සහ සංවර්ධිත රටවලට ඉහළ මිලකට අපනයනය කිරීම මඟින් වැඩි ආදායමක් ගොවීන්ට, සැකසුම්කරුවන්ට සහ අපනයනකරුවන්ට ලබාගැනීමට හැකියාව ලැබේ. අවසානයේ රටක් වශයෙන් මෙමඟින් වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් කුළුබඩු ක්ෂේත්රයෙන් ලබා ගැනීමට හැකිවීම වර්තමානයේ රටේ ඩොලර් සංචිත හිඟයට කදිම විසඳුමකි.
ආචාර්ය සම්පත් ඉඳුරුව
නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ)
මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථානය,
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
මාතලේ