බදුල්ල සුන්දර දුන්හිඳ ඇල්ල ප්‍රවේශ මාර්ගයේ සහ ඇල්ල අසල ඇති ප්ලාස්ටික්, වීදුරු බෝතල්, පොලිතීන් ඇතුළු පරිසරයට හානිකරන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩසටහනක් කොළඹ විශ්වවිද්‍යාලයේ ‘පුරවර සරසවි මිතුරෝ’ කණ්ඩායම විසින් පසුගියදා සිදු කරන ලදි.
පරිසරය පිරිසුදුව තබාගනිමු, සොබාව සෞන්දර්ය රැකගනිමු තේමාව පෙරදැරිව සමාජයට පණිවිඩයක්, දරුවන්ට ආදර්ශයක් ලබාදීම මේ වැඩසටහනේ අරමුණ විය. බදුල්ල මහියංගණ මාර්ගයේ දුන්හිඳ ඇල්ල ප්‍රවේශ මාර්ගයේ සිට ඇල්ල දක්වා ඇති කිලෝමීටර් ගණනාවක මාර්ගය සම්පූර්ණයෙන් පිරිසුදු කිරීමට සහ ඇල්ල අසල ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමට පුරවර සරසවි මිතුරෝ කටයුතු කළ අතර ඒ සඳහා 120ක කණ්ඩායමක් සහභාගි වූ අතර ඔවුන්ගේ පවුල්වල දරුවන් 52ක්ද ඊට සහභාගි වූහ. කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයෙන් උපාධිලත් 2001/2002 අධ්‍යයන කණ්ඩායමේ පුරවර සරසවි මිතුරෝ 2024 සඳහා වූ වාර්ෂික සුහද හමුවට සමගාමීව දුන්හිඳ ඇල්ල පිරිසුදු කිරීමේ වැඩසටහන ක්‍රියාවට නැංවිණි. එය මෙවර බදුල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන පැවැත්විණි. වාර්ෂික සුහද හමුව පැල්ගහතැන්න ඌව කළමනාකරණ සංවර්ධන ආයතනයේ දින තුනක් පුරා පැවැති අතර බදුල්ල අවට ඇති විශේෂ ස්ථාන නැරඹීමට ද මෙවර පහසුකම් සලසා තිබිණි. ඒ අනුව සහභාගි වූ සැමට දැනුම, විනෝදය, ආදර්ශය, සාමූහිකත්වය සහ සතුට ලැබෙන අයුරින් මෙවර පුරවර සරසවි මිතුරෝ සුහද හමුව සංවිධාන කර තිබූ අතර හමුව අවසානයේ සහභාගි වූ සියලු දරුවන්ට පාසල් පොත්, පාසල් බෑග් ඇතුළු පාසල් උපකරණ ලබාදීමට ද කටයුතු සංවිධාන කර තිබිණි. පුරවර සරසවි මිතුරෝ වාර්ෂික සුහද හමුව මෙවර ද කැනඩාවේ ඔටාවාහි හිල්ඩා ජයවර්ධනාරාම විහාරවාසී නුගේගලයායේ ජිනානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්විණි.