- විමර්ශන සටහන් නීතිපතිට
කුඹුරු අක්කර දහඅට දහසකට පමණ යල මහ දෙකන්නයට ජලය සැපයෙන භූමි ප්‍රමාණයෙන් මෙරට විශාලතම ජලාශය ලෙස සැලකෙන පදවිය වැවේ වාන් දොරටුවට අධි බලැති ජැක් ගසා නීති විරෝධීව විවෘත කර ව්‍යාපාරිකයෙකුට අයත් කුඹුරු යායකට අනවසරයෙන් ජලය ලබා ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පිළිබඳව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අදාළ විමර්ශනවල උදෘත (සටහන්) නීතිපතිවරයාගේ උපදෙස් සඳහා යවන්නැයි කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් කසුන් දසනායක මහතා පදවිය පොලිසියට නියෝග කළේය.
මෙසේ නියෝග කළේ මෙම සිද්ධියට අදාළ නඩුව පදවිය සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේ දී මෙම සිද්ධියට අදාළව දැනට දැඩි ඇප කොන්දේසි මත මුදාහැර සිටින ව්‍යාපාරිකයකු වන ප්‍රධාන සැකකාර පදවිය සී යාය විද්‍යාලය ඉදිරිපිට අංක 304 ලිපිනයේ ඩබ්.ඒ. මයුර ප්‍රදීප් මධුසංඛ සහ පදවිය සී යාය අංක 500/ ඒ ලිපිනයේ ඩබ්.ජී. උපාලි කුමාරතුංග සහ පදවිය පුංචිකොච්චිකාවැව අංක 38 ලිපිනයේ එම්.ජී.බී. කමල් ප්‍රියශාන්ත යන සැකකරුවන්ය.
පදවිය ජලාශය භාර වාරිමාර්ග ඉංජිනේරු අනුර ශාන්ත මහතා පදවිය පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණ. පැමිණිල්ල වෙනුවෙන් පදවිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජය කුමාරසිරි මහතාගේ උපදෙස් මත සැරයන් (35569) රණසිංහ මහතා පෙනී සිටි අතර සැකකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ රංග සුජීව මහතා පෙනී සිටියේය.
පදවිය ජලාශයේ වාන් දොරටුවේ ආරක්ෂාවට රාත්‍රි කාලයේ යොදවා සිටි වාරිමාර්ග මුරකරුට මත්පැන් බීමට සලස්වා සැකකරුවන් මෙම අපරාධය සිදු කර ඇති බව අධිකරණයේදී කියැවිණ. මෙරට ප්‍රධාන වාරි ජලාශයක වාන් දොරටුවකට විශාල ප්‍රමාණයේ වාහන සඳහා යොදන අධි බලැති ජැක් ගසා වාරි ඉංජිනේරුවරුන්ගේ අධීක්ෂණයෙන් සහ නිසි තාක්ෂණික ක්‍රමවේදයෙන් තොරව නීති විරෝධීව විවෘත කර පුද්ගලික කුඹුරු යායකට අනවසරයෙන් ජලය ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩුවක් පවතින ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙය බව වාරිමාර්ග ඉංජිනේරුවරු පවසති. පදවිය ජලාශය අක්කර අඩි අසූ අට දහසක ජල ධාරිතාවයකින් යුක්තය.