ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය, යුරෝපීය ගුවන්සේවා සුරක්ෂිතතා ඒජන්සිය (EASA) එක්ව පළමු වරට කොළඹ දී සංවිධාන කළ ගුවන්සේවාව පිළිබඳ ජාත්‍යන්තර සහයෝගීතා සමුළුව සාර්ථකව නිමාවට පත්විය. මාර්තු 19දා සිට 21දා දක්වා තෙදිනක් පුරා කොළඹ දී පැවති මේ සමුළුවට යුරෝපා සංගමය මෙන්ම අප්‍රිකානු, ආසියා ශාන්තිකර සහ අනෙකුත් කලාපීය රටවල් ද නියෝජනය කරමින් 100ක පමණ ජ්‍යෙෂ්ඨ ගුවන්සේවා වෘත්තිකයන් පිරිසක් ද එක්ව සිටියහ.
ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති. ජී. එස්. විතානගේ, උප සභාපති ඩී. ඩබ්. එස්. නාරංගොඩ, සිවිල් ගුවන්සේවා අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික එයා(ර්) වයිස් මා(ර්)ෂල් සාගර කොටකදෙණිය, ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගමේ උප සභාපතිනි අවන්ති සේනාරත්න, සිවිල් ගුවන්සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් නීතිඥ රෙහාන් වන්නිඅප්පා මහත්ම මහත්මීන් මෙන්ම EASA නියෝජනය කරමින් එහි වැඩබලන අධ්යක්ෂ ලුක් ටිගට්, උපායමාර්ගික සහ සුරක්ෂිතතා කළමනාකරණ ප්‍රධානී මරියා නෙවීස් මහත්ම මහත්මීන් ද සමාරම්භක අවස්ථාවට එක්වූහ. 2008 වසරේ දී EASA විසින් ගෝලීය වශයෙන් ගුවන්සේවා කර්මාන්තයේ සුරක්ෂිතතාව තවදුරටත් තහවුරු කර යහපත් ගුවන් ප්‍රවාහන කර්මාන්තයක් ජනතාවට දායාද කිරීමේ අරමුණ පෙරදැරිව ඇරඹි මේ වැඩසටහනේ 08 වන අදියර ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට හැකිවීම මෙරට ගුවන් කර්මාන්තය ලත් ජයග්‍රහණයකි. ගුවන්සේවා කර්මාන්තයේ සුරක්ෂිතතාව තවදුරටත් තහවුරු කිරීම වෙනුවෙන් EASA ගෙන ඇති වැඩපිළිවෙළ ඒ ඒ රටවල් විසින් ක්‍රියාවට නංවා ඇති ආකාරය, ඉන් ලබාගෙන ඇති වර්ධනය පිළිබඳව ද මේ සමුළුවේ දී සාකච්ඡා කළ අතර ජාත්‍යන්තර වශයෙන් ගුවන්සේවාව පිළිබඳ දැනුම මෙන්ම නියාමන ක්‍රියාවලීන් පිළිබඳව තොරතුරු හුවමාරු කරගැනීමට ද මෙය කදිම අවස්ථාවක් විය.