අනුරාධපුර යුගයේ ඉදිවූ විශාලතම දාගැබ ලෙස සැලකෙන නැඟෙනහිර පළාතේ මඩකලපුව මාවාඩිවෙම්බු වසමේ පිහිටා ඇති විශාල දාගැබ විනාශ කරමින් එහි සඳකඩ පහණ, ගල් කණු, ස්ථම්භ, ගඩොල්,ශිලා පුවරු,අසල කෝවිලකට ගෙන ගොස් ඇතැම් ගල්කණු කඩා විනාශ කර කෝවිලේ අලුතින් ඉඳිකරන ගොඩනැඟිල්ලක අත්තිවාරමකට හා දේවාලයේ වැට මායිමකට යොදාගෙන ඇති බව මඩකලපුව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ හිටපු ලේඛකාධිකාරී කල්කුඩා ශ්‍රී සීලාලංකාර පිරිවෙනේ පරිවෙණාධිපති දේවගල දේවාලංකාර නාහිමියෝ පවසති.
ක්‍රිස්තු වර්ෂ 2,3 සියවස්වල පමණ ඉදිකර ඇති බවට සැලකෙන අනුරාධපුර යුගයේ ඉදි වූ විශාලතම දාගැබ මඩකලපුව එරාවුර්වල ඉදිකර ඇති බවත් මේ විශාලතම දාගැබ 2017 වර්ෂයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අම්පාර කාර්යාලය මගින් හඳුනාගෙන ඇති එකක් බව ද නාහිමියෝ පෙන්වා දෙති.මීටර් 32කින් පමණ විශ්කම්භයකින් යුත් මේ ස්තූපයේ පේසා වළලු, ගර්භයේ බිත්ති කොටස්, සම්පූර්ණයෙන්ම විනාශ කර එතැන් සිට අවට අක්කර තුන හතරක පරිසරය විනාශ වීමට ඉඩ හැර ඇති බවත් මේ දාගැබේ පරිවාර චෛත්‍ය හතරක නටබුන් දැනට දක්නට තිබෙන බවත් ඇතැම් පරිවාර චෛත්‍ය උඩ පොල් ඇතුළු අනෙකුත් වගා සිදුකර ඇති බවත් දේවාලංකාර නාහිමියෝ සඳහන් කරති. මේ ප්‍රදේශය පිරිසක් විහාරතෝට්ටම් නමින් හඳුන්වා මේ විශාලතම දාගැබේ ගල්කණු, සඳකඩපහණ ඇතුළු වටිනා පුරාවිද්‍යා වස්තු කුළු ගෙඩිවලින් පහර දී කළුගල් බවට පත් කර ඒ අසල ඉදිකරන කෝවිලක අත්තිවාරමකට යොදා ගැනීම කනගාටුදායක කරුණක් බවත්, දාගැබේ ඇතැම් පුරාවස්තු ට්‍රැක්ටර් මගින් රැගෙන ගොස් ඇති බවත්,ගල්කණු මෙන්ම කැටයම් ගල් සඳකඩපහන, කෝවිලේ වැට මායිමට යොදා ඇති බවත් දේවාලංකාර නාහිමියෝ පෙන්වා දෙති.
මේ දාගැබ උඩ සහ ඒ අවට 2019 වර්ෂයේ මිරිස් වගා කර තිබූ අතර මේ ගැන මාධ්‍ය හෙළිදරව්වකින් අනතුරුව පුරාවිද්‍යා නිලධාරීන් එම දාගැබ ප්‍රදේශය වෙන් කර සිටුවා ඇති පුරාවිද්‍යා කුලුනු විනාශ කර ඇති බවත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මායිම් කර ඇති ප්‍රදේශයේ කිසියම් පිරිසක් විසින් ඉඩම් කොටු කරගෙන ඒ තුළද පොල් වගා කර ඇති බව ද නාහිමියෝ පැවසූහ.
මේ ගැන ජනපතිවරයාගේ මෙන්ම අගමැතිවරයාගේ පුරාවිද්‍යාවේ විෂය භාර අමාත්‍යවරයාගේ මෙන්ම පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ අවධානය යොමුකර මඩකලපුවේ පුරාවිද්‍යා වස්තූන් රැක ගැනීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් මඩකලපුව එරාවුර් පිහිටි අනුරාධපුර යුගයේ ඉදි වූ විශාලතම දාගැබ සංරක්ෂණය කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි ද දේවාලංකාර නාහිමියෝ සඳහන් කළහ.
දාගැබේ විනාශය ගැන විමසීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අම්පාර පුරාවිද්‍යා කාර්යාලයෙන් කළ විමසීමකදී නිලධාරියෙක් සඳහන් කළේ මේ දාගැබ පිහිටි ප්‍රදේශය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සලකුණු කරනු ඇති බවත් විනාශ වී ඇති තත්ත්වය පිළිබඳ සොයා බලා ආරක්ෂා කිරීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ සම්බන්ධ වැඩි තොරතුරු ප්‍රකාශ කිරීමට නොහැකි බවත් පැවසීය.