ජපානය, කොරියාව, සිංගප්පූරුව වැනි රටවල්වල රැකියා ලබාදෙන බවට පොරොන්දු වෙමින්, ලක්ෂ 50ක පමණ මුදලක් වංචා කළ බවට සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගත් බවට කළුතර දකුණ පොලිසියට ලද පැමිණිලි අනුව කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට කළුතර දකුණ පොලිසිය පියවර ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට පත්වූයේ පානදුර පිංවත්ත මාදුපිටිය ප්රදේශයේ පදිංචි 44 හැවිරිදි කාන්තාවකි. මෙම කාන්තාව ප්‍රකාශ කොට ඇත්තේ ජපානයේ පදිංචි පුද්ගලයකු හරහා මෙම රැකියා ලබා දීම සිදු කළ බවත්,අවසානයේදී එම පුද්ගලයා මෙම රැකියා ලබා දීම මඟහැරීම හේතුවෙන් ඇයද මෙම වංචාවට හසුව ඇති බවත්ය.
මෙම කාන්තාවගෙන් අනාවරණය වූ තොරතුරු අනුව තවත් මෙම වංචාවට හසු වූ විශාල පිරිසක් සිටිනා බැවින් ඒ අය වහාම කළුතර දකුණ පොලිසියට පැමිණ ඒ පිළිබඳව පැමිණිලි කරන ලෙසට අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්මික ද සිල්වා මහතා ඉල්ලීමක් කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දකුණු කළුතර පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්මික ද සිල්වා මහතා ඇතුළු අපරාධ අංශයේ නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.