රට බංකොලොත් විය; ණය ගෙවා ගැනීමට නොහැකි විණි. ඒ සමඟ ඇති වූ ආර්ථික පීඩනය දරාගැනීමට නොහැකි වී ජනතාව පීඩාවට පත් විය. සාමාන්‍ය පුරවැසියාගේ සිට මහා ව්‍යාපාරිකයා දක්වා සියලු දෙනාම බරපතළ ලෙස දුක් විඳින යුගයක් උදා විය. විදුලිය කප්පාදු වී පෝලිම් යුගයක් නිර්මාණය විණි. වැඩ කරන ජනතාවට රැකියා අහිමි විය. ව්‍යාපාර, කර්මාන්ත කඩා වැටිණි. සමහරු රට හැර ගියහ. මුළු රටම ගිනි ගෙන අපායකට ඇද හෙළිණි.
මේ අවස්ථාවේ රටේ පාලනය ගිලිහී අරාජික වෙමින් තිබිණි. ආර්ථික වශයෙන් පමණක් නොව, සමාජීය හා දේශපාලන වශයෙන්ද රට ශීඝ්‍ර ලෙස බරපතළ අනතුරකට වැටෙමින් පැවතිණි.
මේ තත්ත්වයෙන් රට බේරා ගැනීමේ අභියෝගය භාර ගැනීමට කිසිවෙක් ඉදිරිපත් නොවූහ. ආරාධනා ලද හැම කෙනාම පස්ස ගැසූහ. ගිනි ගොඩ මැදට පැන ගින්න නිවන්න ඒ කිසිවකුටත් ධෛර්යයක් නොතිබිණි.
මේ ගිනි ගොඩට පැන ඒ අභියෝගය භාර ගැනීමට ඉදිරිපත් වූ විරුවා ඔහුය.
හේ රනිල් වික්‍රමසිංහ නම් වේ. 1949 මාර්තු 24 දා එස්මන්ඩ් වික්‍රමසිංහ සහ නාලිනී විජයවර්ධනගේ දෙවැනි පුතණුවන් ලෙස උපත ලබා කොළඹ රාජකීය විද්‍යාලයයෙන්ද, කොළඹ විශ්වවිද්‍යාලය සහ නීති විද්‍යාලයයෙන්ද අධ්‍යාපනය ලබා නීතිඥවරයකු වී, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නියෝජ්‍ය අමාත්‍යවරයකු, කැබිනට් අමාත්‍යවරයකු, විපක්ෂ නායකවරයකු, පස්වරක් අගමැතිවරයකු ලෙස වසර 47ක දේශපාලන පන්නරයකට උරුමකම් කියන දේශපාලනඥයකු ලෙස ජාත්‍යන්තර සබඳතා ඉහළින්ම ගොඩනඟාගෙන තිබූ රනිල්ය.
ඒ බය නැති රනිල් ගින්න නිවන්න පටන් ගත්තේය. අද මුළු රටම ඔහුගේ ඒ වෙහෙසකර උත්සාහයේ ප්‍රතිඵල භුක්ති විඳිමින් සිටී.
ඔහු ඉන්ධන පෝලි නිමා කළේය: ගෑස් පෝලිම් නිමා කළේය; විදුලි කප්පාදුව නිමා කළේය; වසා තිබූ පාසල් යළි විවෘත කළේය; රට වැටී තිබූ වළෙන් ඔසවා තැබුවේය. තව කවර කතාද? රට යළි ගොඩ ගත් විරුවා ඔහුය.
රනිල්ගේ ඒ වෙහෙසකර ව්‍යායාමයට සහාය වුණු සියලු දෙනාටම කෘතවේදි විය යුතුය. එසේම බින්දුවට වැටුණු එක්සත් ජාතික පක්ෂය සමඟ රැඳී සිටි ප්‍රතිපත්ති ගරුක පාක්ෂිකයන්ට ආචාරය පිදිය යුත්තේය. ඔවුන්ගේ ඡන්ද ලක්ෂ දෙකහමාර නොවන්න ඒ කිසිත් සිදු නොවනු ඇත.
බින්දුවට වැටී තිබුණු රට 2022 මැයි 13 දා ඔහු භාර ගෙන ක්‍රමවත් හා විධිමත් ගමනකට මුල පිරුවේය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ එක් වී ආර්ථික සැලැස්මක් සකස් කළ අතර, ඒ සැලැස්ම සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලය වශයෙන් දවසින් දවස රට සාමාන්‍ය තත්ත්වයට පත් විය; පීඩනය අඩු විය; ජනතාවගේ දුක් කරදර හෙමින් හෙමින් සංසිඳෙමින් තිබේ.
එදා පෝලිම්වල ජනයා මැරී වැටුණු හැටි අද බොහෝ අයට අමතකය. දිනකට පැය 13ක් විදුලිය නැතිව සිටි අයුරු අමතකය. ගෑස් නැතිව උයන්න වුණු අමාරුව අමතකය. ඒත් රනිල් ඒ කිසිවක් නොතකයි. ඔහුගේ ඉලක්කය රට සහ ජනතාව ගොඩ දැමීමයි. බලය වෙනුවෙන් බොරු බේගල් ඇද බෑම ඔහුගේ ප්‍රතිපත්තිය නොවේ. ‘සැබෑව’ ඔහුගේ දේශපාලන ගමන් මඟයි.
ඔහු යන ගමන දුෂ්කරය. එය අතුරේ යෑමකි. හේ ආර්ථික වැල් පාලමක්ද පසු කළේය. මල් තළා රොන් ගැනීමටද ඔහුට සිදු විය.
පසුගිය කාර්තු හයක් පුරා හැකිළී තිබුණු ආර්ථිකය රනිල්ගේ සියලු ප්‍රයත්න හමුවේ යළි පිබිදීමට පටන් ගෙන තිබේ. රාජ්‍ය ආදායම 2022 වසරට සාපේක්ෂව 2023 වසරේදී 50%කින් නංවාගැනීමට හැකි විය. රජයට සේවා සැපයූ කොන්ත්‍රාත්කරුවන්ට වසර තුනක් තිස්සේ ගෙවීමට නොහැකිව තිබූ සියලු හිඟ මුදල් ගෙවා අවසන් කළේය. පාඩු ලබමින් තිබූ රජය සතු ව්‍යවසායන් 52, 2023 වසරේදී රුපියල් බිලියන 313ක ලාභයක් ලැබීය.
දුෂ්කර කාලයේදී ව්‍යාපාර වැසී ගියත් දැන් අලුත් ව්‍යාපාර බිහි වෙමින් පවතී. 2024 ජනවාරියේ පමණක් නව ව්‍යාපාර 1995ක් ලියාපදිංචි වී තිබේ.
රටක ආර්ථිකය මනින වැදගත් මිම්මක් වන උද්ධමනය, 2022 වසරේදී 70%ක්ව පැවති අතර, එය මේ වසරේ පෙබරවාරිය වන විට 5.9% දක්වා පහත වැටිණි. එහි ප්‍රතිඵලයක් ලෙස කුඩා සහ මධ්‍ය පරිමාන ව්‍යවසායකයන්ට සහ පාරිභෝගිකයන්ට සහනයක් සලසා දෙමින් 2023 වසරේ 30% ඉක්මවූ පොලී අනුපාතය 10%ට වඩා අඩු අගයකට පහත හෙළීමට හැකි විය.
2022 වසරේදී දළ දේශීය නිෂ්පාදනයෙන් 8.3%ක්ව පැවති රජයේ ආදායම 2023 වසරේදී 10.9%ක් බවට පත් කරලීමට හැකි විය. මේ වසරේදී එය 13.1%ක් බවට පත් කරගැනීම රනිල්ගේ ඉලක්කයයි.
2022 වසරේ අප්‍රේල් මැද වන විට අමෙරිකානු ඩොලර් මිලියන 20කට අඩු අගයක පැවති විදේශ සංචිත ප්‍රමාණය අද වන විට අමෙරිකානු ඩොලර් බිලියන 3කට වඩා ඉහළ නැංවීමට හැකි වී තිබේ.
1977න් පසු ප්‍රථම වතාවට 2023 වසරේදී ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ අතිරික්තයක් ඇති කර ලීමට සමත් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස රුපියල් 363ක්ව පැවති අමෙරිකානු ඩොලරය රුපියල් 308 දක්වා පහත ගොස් තිබේ.
කටුක තීරණයක් වුණත්, වැට් බද්ද යළි පැනවීම නිසා රාජ්‍ය ආදායම වැඩි විය. ඉන් රුපියල යළි ශක්තිමත් වී තිබේ. එවිට ආනයන භාණ්ඩවල මිල අඩු වේ. මුළු රටටම එහි වාසිය හිමිය.
රනිල් ආරම්භ කළ නව ආර්ථික වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා නව නීතිද හඳුන්වා දුන්නේය. පසුගිය මාස 14ක කාලය තුළ නීති 42ක් පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් අතර එය වාර්තාවකි. තවත් නීති 62ක් ගෙන ඒමට නියමිතය. ඒ වෙනුවෙන්ම පාර්ලිමේන්තු ඡන්දය කල් දැමීමට රනිල්ගේ කිසිදු අදහසක් නැත.
රනිල් කී දේ කරන නායකයෙකි; බලය වෙනුවෙන් බොරු නොකියන නායකයෙකි; රට වෙනුවෙන් තම බලය කැප කළ නායකයෙකි.
ගෙවුණු වසර දෙක හමාර තුළ ඔහු කළ දේ බංකොලොත් වුණු රටකට කළ හැකි දේදැයි විමසීම වටී. කඩාවැටුණු රට ඔසවා තැබීමට වසරක් වැනි කෙටි කාලයක් තුළ ඔහුට හැකියාව ලැබිණි. රට බංකොලොත් භාවයෙන් නිදහස් කරගැනීමට ආරම්භ කළ වැඩපිළිවෙළේ අවසාන කොටසට දැන් පැමිණ තිබේ. මෙවසරේ අප්‍රේල්, මැයි මාස වන විට රටේ බංකොලොත්භාවය නීත්‍යනුකූලව අවසන් වන බවට පුරෝකථනය වී තිබේ.
බංකොලොත් වුණු රටක් මෙතරම් ඉක්මනින් යළි හිස එසවූ අවස්ථාවක් ලෝක ඉතිහාසය දක්නට තුළ නැත. ජපානය ඇතුළු විදෙස් රටවල් මේ පිළිබඳ සිය විමතිය මෙන්ම සතුට පළ කළේය.
අද, මුදල් අච්චු ගැසීම සම්පූර්ණයෙන්ම නවතා දමා තිබේ.
රටේ පවුල් ලක්ෂ 24කට ‘අස්වැසුම’ හිමි වේ.
‘උරුමය’ මඟින් පවුල් ලක්ෂ 20කට ඉඩම් අයිතිය හිමි වේ.
පාසල් දරු දැරියන් ලක්ෂ 45කට ‘සුරක්ෂා’ රක්ෂණ ක්‍රමයේ ප්‍රතිලාභ හිමි වේ.
රජයේ සේවකයන්ගේ වැටුප් රුපියල් 10,000කින් වැඩි විය.
හඳුනාගත් අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2.7ක් සඳහා පවුලකට මාසයකට නාඩු හාල් කි.ග්‍රෑ. 10 බැගින් පිරිනැමීම ඇරඹිණි.
ශ්‍රී ලංකාව යළිත් රට පුරා විනෝද සවාරි යන ජනතාවක් සිටින රටක් බවට පත් වී තිබේ.
ඒ සියල්ල කිරීමට හැකි වූයේ රනිල් ක්‍රියාත්මක කළ වැඩ පිළිවෙල නිසාය. ඉතින් රට යළි ගොඩ ගත් විරුවා ඔහුය.
මේ සියල්ල සිදු කිරීමට ඔහු 2022 මැයි 13 දා රට භාර ගත් දිනයේ සිට රටේ සියලු දෙනාගේම සහයෝගය ඉල්ලා සිටියේය. එහෙත් රටේ ප්‍රධාන විපක්ෂය රනිල්ගේ රට ගොඩ ගන්නා ප්‍රයත්නයට කිසිදු සහයෝගයක් නොදැක්වීය. ඒත් රනිල් පසුබට වුණේ නැත. තමන්ට සොය දක්වන අය සමඟ ඔහු රට නැවතත් හරි මඟට ගෙන ඒමට සමත් විය.
මේ සියලු ජයග්‍රහණ මඟින් පෙන්නුම් කරනුයේ ඒ විරුවාගේ කැප වීමය; බුද්ධිය සහ අත්දැකීම්ය; දුර දක්නා ක්‍රමානුකූල සැලසුම්ය. ඒ හැකියාවන් නිසා ඔහු ජාත්‍යන්තරයේ විශ්වාසය සහ සහයෝගයඑ උපරිමයෙන් හිමි කරගත්තේය. එසේ වන් අන් අයෙක් සිටීද?
‘මේ අඹ ගසට අමතරව වෙනත් අඹ ගස් තිබුණත්’ වැටුණු රට ගොඩ ගන්න රනිල් හැර වෙනත් නායකයෙක් නැත. ඔහු ඒ බව 2001 සහ 2015 වසරවලදීද කර පෙන්වූයේය.
බැණුම් අසමින්, අපහාස විඳිමින් ජනප්‍රිය නොවන තීන්දු තීරණ ඔහු ගන්නේ සිය දේශපාලන ජීවිතයේ අනාගතය අමතක කර, තරුණ පරපුරේ අනාගතය ගැන සිතමිනි.
ඔහු යන මාර්ගය නිවැරදි බව වසර දෙකක් තුළ රට බංකොලොත් බවෙන් මිදීමට සමත් වීමෙන් සනාථ කර තිබේ.
ඔහු මේ සියල්ල කරනුයේ ඔහුගේ බලය වෙනුවෙන් නොව, රටේ අනාගතය වෙනුවෙනි; රට යළි ගොඩ නැංවීමේ අරමුණෙනි; මුළු මහත් සමාජයම ඉහළට ඔසවා තැබීමේ අභිලාෂයෙනි.
විදේශ රටවල සිටින ශ්‍රමිකයන්ගෙන් ඩොලර් 100ක් ගෙන්වා ගෙන රට දියුණු කරන සිඟිති සැලසුම් ගැන දොඩවන දේශපාලනඥයන් සිටින රටක රනිල් ඉපදුණේ අපේ වාසනාවටය. අප ඒ වාසනාවට පයින් ගැසුවොත් යළිත් අඬන්න සිදු විය හැකිය. රට ගොඩ ගැනීමට ඉදිරිපත් වූ නායකයකුට අවස්ථාව දීම අපේ වගකීමයි; රට වෙනුවෙන් කළ යුතු යුතුකමයි. ඒ අවස්ථාව අත් නොහැරිය යුතුය.
ශිරෝමි අබයසිංහ