පාස්කු දා ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය පිළිබඳව ගත හැකි ඉහළම ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස ජාතික ජන බලවේගය දැඩිව කියා සිටින බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවැසීය.
මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ (24) බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.
“පාස්කු දා ප්‍රහාරය කියන්නේ මේ රටේ ජීවිත සිය ගණනක් බිලි ගත්, දහස් ගණනක් ජීවිතවලට සෘජුවම බලපෑ ඛේදනීය සිදු වීමක්. අපේ රටේ දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙසත් පාස්කු දා ප්‍රහාරය හඳුන්වන්න පුළුවන්. එම බෝම්බ ප්‍රහාරය සිදු වන වේලාවේ ජනාධිපතිවරයා සහ සේනාධිනායකයා මෛත්‍රීපාල සිරිසේන මහතා. මේ ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ පරීක්ෂණ සිදු වුණා. විවිධ අයට චෝදනා එල්ල වුණා. නමුත් අද වන තුරුත් පාස්කු දා ප්‍රහාරය සැලසුම් කළේ කවුද කියලා නිවැරදිව හෙළිදරව් කරගෙන නෑ. එවැනි තත්ත්වයක් තුළ තමයි මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශය ඉතා බරපතළ වන්නෙ. මෙපමණ කාලයක් ඒ පිළිබඳව කිසිවක් හෙළි නොකර ඉඳලා දැන් ඔහු කියනවා, පාස්කු දා ප්‍රහාරය සිදු කළේ කවුද කියලා ඔහු දන්නවා කියලා. මෙතරම් ඛේදවාචකයක් සිදු කළ මේ සිදුවීම සේනාධිනායකයා ලෙස ඔහු වසන්කරගෙන සිටීම බරපතළ තත්ත්වයක්. මේ පාස්කු දා ප්‍රහාරය සැහැල්ලුවෙන් සලකන්න බෑ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වගකීමක් තිබෙනවා මේ සිදුවීම පිළිබඳව ඔහු දන්න තොරතුරු රටට හෙළිදරව් කිරීමට. ඔහු ඒ පිළිබඳව ඇත්ත තත්ත්වය දන්නවා නම් මාධ්‍යවලට ප්‍රකාශ දීම වෙනුවට ඒ සම්බන්ධයෙන් රහස් පොලිසියට කට උත්තරයක් දිය යුතුයි. එසේ නොමැති නම් නීතිඥයන් මඟින් අධිකරණයට තොරතුරු දෙන්න පුළුවන්. මුලින්ම මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා කිව්වේ තමන් ඒ පිළිබඳව දන්නා බවයි. පසුව ඔහු කියනවා වෙනත් පුද්ගලයෙක් තමන්ට ඒ පිළිබඳව තොරතුරු දුන්නා කියලා. මේ ප්‍රකාශවල පරස්පරයක් තිබෙනවා.”
උපාලි කරුණාරත්න