සැකකරු ගසක් යට වළ දමා තිබූ අත්බෝම්බයකුත් සොයා ගනී
මට්ටක්කුලිය අලිවත්ත ප්‍රදේශයේදී ඉකුත්දා (12) රාත්‍රී පුද්ගලයකු ඉලක්ක කර පසුපස හඹා ගොස් වෙඩි ප්‍රහාර එල්ල කිරීම සඳහා යොදාගත් යතුරුපැදිය සැපයූ පුද්ගලයා හොරයින් ග්‍රෑම් 5720ක් සමඟ වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී යතුරුපැදියට අදාළ රක්ෂණ සහතිකය හමු වී තිබේ. තවද වැඩිදුර විමර්ශනයේදී යම් අපරාධයකට යොදා ගැනීම සඳහා සඟවා තබන ලද විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් වැල්ලම්පිටියේ වෙලේවත්ත තිස්ස අමුණුවෙල ප්‍රදේශයේ ගසක් යට වළ දමා තිබියදී සොයා ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි. සැකකරු සොරාගත් යතුරුපැදිය ලබා දී ඇත්තේ හොරයින් මත්කුඩුවලට බව පොලිසිය කියයි.
රිවොල්වර වර්ගයේ ගිනි අවියකින් වෙඩි ප්‍රහාර හයක් මට්ටක්කුලිය කැලණි ගඟ මෝල පාර අලිවත්ත පදිංචි අශාන් මදුරංග නොහොත් විරාජ් නමැත්තා වෙත එල්ල කර තිබුණ ද ඉලක්කය වැරදී යෑම හේතුවෙන් එම පුද්ගලයාගේ දිවි බේරී ඇත. ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනකු වන ප්‍රදීප් සහ අසිත යන පුද්ගලයන් දෙදෙනා අතර කලක සිට පවතින විරසකයක ප්‍රතිඵලයක් ලෙස වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව පොලිසිය කියයි.
වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව එය ඩුබායි රටේ සිට මෙහෙය වූ අලි වත්තේ ප්‍රදීප සුරංග යන අයගේ පුංචි අම්මාගේ නිවෙසට මෙන්ම තව තවත් ඥාතීන්ගේ නිවාසවලට ගල් ප්‍රහාර එල්ල වී ඇත. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර දින හතක රැඳවුම් නියෝග ලබාගෙන කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ රඳවාගෙන මොහු විසින් සිදු කරන ලද අපරාධ තිබේද යන්න හා මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතව ඇත. කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්ස්ලම් ද සිල්වා මහත්වරුන්ගේ උපදෙස් මත සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ වැඩ බලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර්.එම්.ආර්. චතුරංග මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.
බණ්ඩාරගම – බිමල් ජයසිංහ, නුගේගොඩ සමූහ – සමීර අබේසිංහ