රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඇප දෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කර ඇති සංශෝධිත ඇප ඉල්ලීම අවශ්‍ය ලේඛන ගොනු කිරීමෙන් තොරව ඉදිරිපත් කර ඇති ඉල්ලීමක් නිසා විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය ඊයේ (22දා) කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතාගෙන් ඉල්ලා සිටියාය.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරටට ආනයනය කර රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් සිදු කිරීම හා රෝගී ජීවිත අනාරක්ෂිත තත්ත්වයට පත් කිරීමේ සිද්ධියට අදාළව බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඇප දෙන ලෙස ඉල්ලා ඔහුගේ නීතිඥයන් ගොනුකළ ඉල්ලීමක් කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය මේ බව සැලකර සිටියාය.ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන ඉදිරිපත්කර ප්‍රමිතියෙන් තොර “ඉමියුනෝග්ලොබින්” නමැති ප්‍රතිදේහ එන්නත් ආනයනය කළ බවට හා ඒවා රජයේ රෝහල්වලට බෙදාහැරීම මගින් රෝගී ජීවිත අනතුරේ හෙලීම, රජයට වංචා කිරීම යන චෝදනාව යටතේ හිටපු ඇමැති කෙහෙළිය ඇතුළු 7දෙනකු රහස් පොලිසිය විසින් විමර්ශන සඳහා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදී.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම සැකකරුවන්ට ඕනෑම කොන්දේසියක් යටතේ ඇප දෙන ලෙස කරන ලද ඉල්ලීමක් විභාග කළ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය පසුගිය 14දා නඩු විභාගය නිමවනතෙක් විත්තිකරුවන් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස නියම කළාය.
ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ පොදු දේපළ පනතේ සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කළ විට ඇපමත මුදා හැරීම සඳහා සුවිශේෂි කරුණු ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය බවය.