ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරීන් සඳහා නව නිල ඇඳුමක් හඳුන්වා දී තිබේ.
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හා මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති ටිරාන් අලස් යන මහත්වරුන්ගෙන් කළ ඉල්ලීමකට අනුව උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාව සඳහා රාජකාරියෙහි නිරතව සිටින පොලිස් නිලධාරීන් සඳහා ‘සුදු පැහැති නව නිල ඇඳුමක්’ හඳුන්වා දීම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී සිදු කෙරිණි.
අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙය සිදු කෙරුණු අතර උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ හා පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා ගෞරවාන්විත සේවාවක් ලබාදීම මෙහි අරමුණ වී තිබේ.