කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවයේ නිරත මත් පෙති සඳහා ඇබ්බැහි වූ තරුණයන් වෙත ඒවා අලෙවි කළ ඔසුසල් හිමියෙකු ඇතුළු දස දෙනෙකු කටුනායක පොලිසිය මඟින් පෙරේදා (24) අත්අඩංගුවට ගෙන තිබේ. ලංකාව තුළ දැනට ක්‍රියාත්මක Òයුක්තියÓ මෙහෙයුමට සමගාමීව කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ක්‍රියාත්මක කළ මෙහෙයුමක දී කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ සේවයේ නිරත මත්ලෝලී තරුණයන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් රඳවා තබා ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේ දී මෙම තරුණයන් හට මත්පෙති සපයන කටුනායක ඇවරිවත්ත නගරයේ ප්‍රධාන ඇඟලුම් අලෙවිසලක සේවකයින් සිවුදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදු කරගෙන යාමේදී කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ තරුණයන්ට මත් පෙති අලෙවි කරන බටහිර ඖෂධ සල සහ මෙම ජාවාරම මෙහෙය වන එම වෙළෙඳ සලේ හිමිකරු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.
ඔහුට මෙම ඖෂධ අලෙවිසල පවත්වා ගෙන යාම සඳහා නීත්‍යනුකූල වෙළෙඳ බලපත්‍රයක් නොතිබුණු අතර, එහි සේවය කිරීම සඳහා සුදුසුකම් ලත් ඖෂධවේදියෙකු සහ බටහිර ඖෂධ අලෙවි කිරීම සඳහා ද ඖෂධ බලපත්‍රයක් ද තිබී නොමැත.
පසුව සීදුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ද කැඳවා මෙම ඖෂධ වෙළෙඳ සල පරීක්ෂාවට ලක් කළ අතර එහිදී මත් පෙති සහ අලෙවි කර අවසන් කර තිබූ හිස් මත් පෙති කාඩ්පත් විශාල ප්‍රමාණයක් ද සොයා ගෙන අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍යතුමන්ගේ සහ මීගමුව සහකාර පොලිස් අධිකාරී රත්නායක මහතාගේ උපදෙස් මත මෙම ඔසුසල වසා මුද්‍රා තැබීමට ද කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පියවර ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගත් ඔසු සලේ හිමිකරු ඇතුළු අනෙකුත් පුද්ගලයන් දසදෙනා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර, ඔවුන් එළඹෙන පළමු වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.