ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයේ වැඩිම පරතරයකින් ලැබූ දෙවැනි ජය
සියලුම කඩුලු වේග පන්දු යවන්නන් අතරේ බෙදී ගිය ශ්‍රී ලංකා පිලේ පළමු ටෙස්ට් ගැටුම
බංග්ලාදේශයට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 328ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිල සමත් විය. ඒ සමඟම ශ්‍රී ලංකා පිල තරග 2කින් සමන්විත ටෙස්ට් තරගමාලාව 1-0කින් පෙරමුණ ගත්තේය. ලකුණු 511ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ පිලේ දෙවැනි ඉනිම තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ පස්වරු තේ පානයට මොහොතකට පෙර ලකුණු 182කට බිඳ වැටුණේ ශ්‍රී ලංකා ටෙස්ට් තරග ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාවකින් ජයගත් දෙවැනි තරගය ලෙස වාර්තාවක් ද එක් කරමිනි. වැඩිම ලකුණු සංඛ්‍යාවකින් ජයගත් තරගය ද බංග්ලාදේශයට එරෙහිව වීම විශේෂත්වයකි. 2009 ජනවාරියේ බංග්ලාදේශයේ පැවැති එම තරගයෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 465ක ජයග්‍රහණයක් වාර්තා කර තිබිණි.
තුන්වැනි දිනය පෙරේදා නිමා වන විට ලකුණු 47කට කඩුලු 5ක් බිඳ වැටී තිබූ බංග්ලාදේශ ඉනිමේ ඊයේ බිඳවැටුණු කඩුලු 5න් 4ක්ම දවාගත් කසුන් රාජිත සිය ටෙස්ට් තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට ද සමත් විය. මාතර සාන්ත සර්වේෂස් විදුහලෙන් බිහි වූ මේ 30 හැවිරිදි දකුණත් වේගපන්දු යවන්නා බංග්ලාදේශ දෙවැනි ඉනිමේදී ලකුණු 56කට කඩුලු 5ක් බිඳ දැමූ අතර, ඔහු පළමු ඉනිමේදී ද කඩුලු 3ක් දවා ගත්තේය.
ඊයේ උදෑසන සිය දෙවැනි ඕවරයේ පළමු පන්දුවෙන්ම ටයිජුල් ඉස්ලාම් කඩුල්ල මුවා කිරීමට හසුකර ගැනීමට කසුන් රාජිත සමත් වීමෙන් පසු පිටියට පිවිසි මෙහ්දි හසන් සමඟ එක්ව බංග්ලාදේශ ඉනිමේ හොඳම සම්බන්ධතාව වාර්තා කරමින් 7 වැනි කඩුල්ලට ලකුණු 66ක් එක් කිරීමට මොමිනුල් හක් සමත්විය. එහෙත් යළි ක්‍රියාත්මක වූ කසුන් රාජිත ලකුණු 33ක් ලබා සිටි මෙහ්දි හසන් දවාලූයේ දිවා ආහාරයට ඕවර 5ක් ඉතිරිව තිබියදීය.
බංග්ලාදේශය දිවා ආහාරය වන විට කඩුලු 7කට ලකුණු 129ක් ලබා සිටි අතර, අනතුරුව 8 වැනි කඩුල්ල වෙනුවෙන් මොමිනුල් හක් සහ ෂොරිෆුල් ඉස්ලාම් එක්ව ලකුණු 47ක සම්බන්ධතාවක් ගොඩනැඟූහ. අනතුරුව කසුන් රාජිත කඩුලු 5 සම්පූර්ණ කරනු ලැබුවේ මුළු ලකුණු සංඛ්‍යාව 164ක්ව තිබියදී පිට පිට කඩුලු 2ක් දවාලමිනි. පන්දු යැවූ කසුන් රාජිතටම උඩපන්දුවක් දීමෙන් ෂොරිෆුල් ඉස්ලාම් පළමුව දැවී ගිය අතර, ඊළඟ පන්දුවේදී කාලිඩ් අහමඩ් දැවී ගියේ කඩුලු රකින කුසල් මෙන්ඩිස්ට උඩපන්දුවක් දීමෙනි.
ඊට ඕවර 3කට පසු බංග්ලාදේශ ඉනිමේ අවසන් කඩුල්ල ලෙස නහිඩ් රානා දැවී ගියේ ළහිරු කුමාරගේ පන්දුවක් හමුවේය. බංග්ලාදේශ ඉනිමේ 9 වැනි කඩුල්ල බිඳ වැටෙන විට නොදැවී ලකුණු 69ක් ලබා සිටි මොමිනුල් හක් ඉනිම අවසන් වීමට පෙර සිය ශතකය කරා යෑමේ අරමුණින් වේගයෙන් ලකුණු රැස් කිරීමට දැඩි උත්සාහයක නිරත වීම කැපී පෙනිණි. ඔහු ප්‍රභාත් ජයසූරිය යැවූ ඉනිමේ 47 වැනි ඕවරයේ අවසන් පන්දු තුනට හයේ පහරක් සහ හතරේ පහර 2ක් එල්ල කළ අතර, ජයසූරියගේ ඊළඟ ඕවරයේදී තවත් හතරේ පහරක් එල්ල කරමින් ලකුණු සංඛ්‍යාව 87 දක්වා ඉහළ දමා ගත්තේය. ඊළඟ ඕවරයේදී බංග්ලාදේශ ඉනිම නිමාවට පත්වූයේ ඔහුගේ ශතකයේ සිහිනයත් බොඳ කර හරිමිනි. තරගයේ වීරයා සම්මානය ධනංජය ද සිල්වාට හිමි විය. දෙපිල අතර දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය මේ මස 30 වැනිදා චැටග්රාම් හි දී ආරම්භ වේ.