Saturday, May 10, 2025
Home » ශ්‍රී ලංකා­වට ලකුණු 328ක දැවැන්ත ජයක්

ශ්‍රී ලංකා­වට ලකුණු 328ක දැවැන්ත ජයක්

තර­ගයේ වීරයා ධනං­ජය

by Gayan Abeykoon
March 26, 2024 1:30 am 0 comment

ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයේ වැඩිම පරතරයකින් ලැබූ දෙවැනි ජය

සියලුම කඩුලු වේග පන්දු යවන්නන් අතරේ බෙදී ගිය ශ්‍රී ලංකා පිලේ පළමු ටෙස්ට් ගැටුම

බංග්ලා­දේ­ශ­යට එරෙ­හිව පැවැති පළමු ටෙස්ට් තර­ග­යෙන් ලකුණු 328ක දැවැන්ත ජයක් වාර්තා කිරී­මට ශ්‍රී ලංකා පිල සමත් විය. ඒ සම­ඟම ශ්‍රී ලංකා පිල  තරග 2කින් සම­න්විත ටෙස්ට් තර­ග­මා­ලාව 1-0කින් පෙර­මුණ ගත්තේය. ලකුණු 511ක ඉල­ක්ක­යක් හඹා ගිය බංග්ලා­දේශ පිලේ දෙවැනි ඉනිම තර­ගයේ සිව්වැනි දිනය වූ ඊයේ පස්වරු තේ පාන­යට මොහො­ත­කට පෙර ලකුණු 182කට බිඳ වැටුණේ ශ්‍රී ලංකා ටෙස්ට් තරග ඉති­හා­සයේ වැඩිම ලකුණු සංඛ්‍යා­ව­කින් ජය­ගත් දෙවැනි තර­ගය ලෙස වාර්තා­වක් ද එක් කර­මිනි. වැඩිම ලකුණු සංඛ්‍යා­ව­කින් ජය­ගත් තර­ගය ද  බංග්ලා­දේ­ශ­යට එරෙ­හිව වීම විශේ­ෂ­ත්ව­යකි.  2009 ජන­වා­රියේ බංග්ලා­දේ­ශයේ පැවැති එම තර­ග­යෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 465ක ජය­ග්‍ර­හ­ණ­යක් වාර්තා කර තිබිණි.

තුන්වැනි දිනය පෙරේදා නිමා වන විට ලකුණු 47කට කඩුලු 5ක් බිඳ වැටී තිබූ බංග්ලා­දේශ ඉනිමේ ඊයේ බිඳවැටුණු කඩුලු 5න් 4ක්ම දවා­ගත් කසුන් රාජිත සිය ටෙස්ට් තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කිරී­මට ද සමත් විය.  මාතර සාන්ත සර්වේ­ෂස් විදු­හ­ලෙන් බිහි වූ මේ 30 හැවි­රිදි දකු­ණත් වේග­පන්දු යවන්නා  බංග්ලා­දේශ දෙවැනි ඉනි­මේදී ලකුණු 56කට කඩුලු 5ක් බිඳ දැමූ අතර, ඔහු පළමු ඉනි­මේදී ද කඩුලු 3ක් දවා ගත්තේය.

ඊයේ උදෑ­සන සිය දෙවැනි ඕව­රයේ පළමු පන්දු­වෙන්ම ටයි­ජුල් ඉස්ලාම් කඩුල්ල මුවා කිරී­මට හසු­කර ගැනී­මට කසුන් රාජිත සමත් වීමෙන් පසු පිටි­යට පිවිසි මෙහ්දි හසන් සමඟ එක්ව බංග්ලා­දේශ ඉනිමේ හොඳම සම්බ­න්ධ­තාව වාර්තා කර­මින් 7 වැනි කඩු­ල්ලට ලකුණු 66ක් එක් කිරී­මට මොමි­නුල් හක් සම­ත්විය. එහෙත් යළි ක්‍රියා­ත්මක වූ කසුන් රාජිත ලකුණු 33ක් ලබා සිටි මෙහ්දි හසන් දවා­ලූයේ දිවා ආහා­ර­යට ඕවර 5ක් ඉති­රිව තිබි­යදීය.

බංග්ලා­දේ­ශය දිවා ආහා­රය වන විට කඩුලු 7කට ලකුණු 129ක් ලබා සිටි අතර, අන­තු­රුව 8 වැනි කඩුල්ල වෙනු­වෙන් මොමි­නුල් හක් සහ ෂොරි­ෆුල් ඉස්ලාම් එක්ව ලකුණු 47ක සම්බ­න්ධ­තා­වක් ගොඩනැඟූහ. අන­තු­රුව කසුන් රාජිත කඩුලු 5 සම්පූර්ණ කරනු ලැබුවේ මුළු ලකුණු සංඛ්‍යාව 164ක්ව තිබි­යදී පිට පිට කඩුලු 2ක් දවා­ල­මිනි. පන්දු යැවූ  කසුන් රාජි­ත­ටම උඩ­ප­න්දු­වක් දීමෙන් ෂොරි­ෆුල් ඉස්ලාම් පළ­මුව දැවී ගිය අතර, ඊළඟ පන්දු­වේදී කාලිඩ් අහ­මඩ් දැවී ගියේ කඩුලු රකින කුසල් මෙන්ඩිස්ට උඩ­ප­න්දු­වක් දීමෙනි.

ඊට ඕවර 3කට පසු බංග්ලා­දේශ ඉනිමේ අව­සන් කඩුල්ල ලෙස නහිඩ් රානා දැවී ගියේ ළහිරු කුමා­රගේ පන්දු­වක් හමු­වේය. බංග්ලා­දේශ ඉනිමේ 9 වැනි කඩුල්ල බිඳ වැටෙන විට නොදැවී ලකුණු 69ක් ලබා සිටි මොමි­නුල් හක් ඉනිම අව­ස­න් වී­මට පෙර සිය ශත­කය කරා යෑමේ අර­මු­ණින් වේග­යෙන් ලකුණු රැස් කිරී­මට දැඩි උත්සා­හ­යක නිරත වීම කැපී පෙනිණි. ඔහු ප්‍රභාත් ජය­සූ­රිය යැවූ ඉනිමේ 47 වැනි ඕව­රයේ අව­සන් පන්දු තුනට හයේ පහ­රක් සහ හතරේ පහර 2ක් එල්ල කළ අතර, ජය­සූ­රි­යගේ ඊළඟ ඕව­ර­යේදී තවත් හතරේ පහ­රක් එල්ල කර­මින් ලකුණු සංඛ්‍යාව 87 දක්වා ඉහළ දමා ගත්තේය.  ඊළඟ ඕව­ර­යේදී බංග්ලා­දේශ ඉනිම නිමා­වට පත්වූයේ ඔහුගේ ශත­කයේ සිහි­න­යත් බොඳ කර හරි­මිනි. තර­ගයේ වීරයා සම්මා­නය ධනං­ජය ද සිල්වාට හිමි විය. දෙපිල අතර දෙවැනි හා අව­සන් ටෙස්ට් තර­ගය මේ මස 30 වැනිදා චැට­ග්‍රාම් හි දී ආරම්භ වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT