බංග්ලාදේශය සමඟ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේදී ආබාධයකට ලක්වූ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ අයිපීඑල් තරගාවලියට සහභාගී වීම උදෙසා ඉන්දියාවේ චෙන්නායි බලා යයි. මස්පිඬු ආබාධයකට ලක් වූ මතීෂ පතිරණ සුවය ලබා ඇති බවට වෛද්‍යවරු නිර්දේශ කර ඇති හෙයින් ඔහු චෙන්නායි සුපර් කිංග්ස් සංචිතයට එක්වී ඊයේ පුහුණුවීම් ආරම්භ කළේය.
එබැවින් චෙන්නායි චිදම්බරන් ක්‍රීඩාංගණයේදී අද රාත්‍රී 7.30ට ආරම්භ වන චෙන්නායි සුපර් කිංග්ස් හා ගුජරාට් ටයිටන්ස් අතර තරගයේදී මතීෂ පතිරණ එක්වීමට බොහෝදුරට ඉඩ තිබේ. යම් හෙයකින් මතීෂ පතිරණට අද ක්‍රීඩා කිරීමට අවස්ථාව නොමැතිනම් මේ 31 වැනිදා දිල්ලි කැපිටල්ස් සමඟ තරගයට එක්වනු ඇත. මෙවර අයිපීඑල් තරගාවලියට තෝරාගත් ඩිල්ෂාන් මධුශංකට සම්පූර්ණයෙන්ම තරගාවලිය අහිමිවී ගොස් ඇති අතර, බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව වනිඳු හසරංග අයිපීඑල් තරගාවලියට සහභාගී වීමේ සූදානමකින් පසුවේ. කලක සිට ආබාධ තත්ත්වයේ සිටින දුෂ්මන්ත චමීර මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වන්නේද යන්න තවමත් අවිනිශ්චිත වී තිබේ.
මතීෂ පතිරණගේ කළමනාකරු අමිල කළුගලගේ මහතා X සමාජ මාධ්‍ය ඔස්සේ (කලින් ට්විටර්) පතිරණගේ ඡායාරූපයක් සමඟ සටහනක් තබමින් පවසා ඇත්තේ ඔහු චෙන්නායි වෙත ළඟා වී ඇති බවය.
මතීෂ පතිරණ පසුගිය අයිපීඑල් තරගාවලියේදී තරග 12කදී කඩුලු 19ක් දවාගෙන විශාල අවධානයකට ලක් වූවේය. මතීෂ පතිරණ නැවත පැමිණීමත් සමඟ චෙන්නායි පිලේ පන්දු යැවීමේ ප්‍රහාරය ඩෙත් ඕවර්වලදී ශක්තිමත් වනු ඇතැයි ක්‍රිකට් විචාරකයෝ පවසති.
අයිපීඑල් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් වෙත නුවන් තුෂාර හා චෙන්නායි සුපර් කිංග්ස් වෙත මහීෂ් තීක්ෂණ දැනටමත් ඉන්දියාව බලා පිටත්ව ගොස් සිටිති.