අරගලය මුවාවෙන් එදා ප්‍රචණ්ඩත්වය වැපිරූ පිරිසකගෙන් පාර්ලිමේන්තුව, අගමැති කාර්යාලය සහ ජනාධිපති කාර්යාලය ඇතුළු රාජ්‍ය දේපොළ බේරා ගනිමින් රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට මා ගත් පියවර මානව හිමිකම් කඩකිරීමක් ලෙස පෙන්වා දීමට ඇතැමුන් උත්සාහ කළ ද එදා එම පියවර නොගත්තා නම් අද රට තුළ මෙලෙස ආර්ථික ස්ථාවරත්වයක් ගොඩනැඟීමට හැකි නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ විශ්වවිද්‍යාල ආචාර්යවරු සමඟ ජනාධිපති කාර්යාලයේදී පෙරේදා (25) පැවති හමුවකදීය. රට තුළ වත්මන් ආර්ථික වැඩපිළිවෙළ සහ ඒ සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අදහස් සහ යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා හිටපු අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා මෙම හමුව සංවිධානය කර තිබිණි.
තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද පැවසීය.
අසීරු සහ අමිහිරි යුගයක් පසු කර රටක් ලෙස ඉදිරියට යන ගමනේදී නීතිය හා සාමය කඩවීමට ඉඩ නොතැබිය යුතුයි. සෑම ක්ෂේත්‍රයක් තුළම නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට සියලු පාර්ශ්වයන්ට වගකීමක් පැවරී තිබෙනවා.
රටට නව අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. අගමැති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ඒ සඳහා කමිටුවක් ද පත් කර තිබෙනවා.
විභාග බර අඩු කරමින් පාසල් අධ්‍යාපනයේ සිදු කළ යුතු වෙනස්කම් පිළිබඳ රජයේ අවධානය යොමුව තිබෙනවා. විශ්වවිද්‍යාල පද්ධතියේද පරිවර්තන රැසකට මුල පුරා තිබෙනවා. එළැඹෙන මැතිවරණයෙන් පසු නව පාර්ලිමේන්තුවක් යටතේ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා.
මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම වෙනුවෙන් සියලු දෙනාගේ සහයෝගය අවශ්‍යයි. 2035 වන විට දියුණු අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ඇති කිරීම මගේ අරමුණයි.
මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ යහපත් වාතාවරණයක් තිබිය යුතුයි. විශ්වවිද්‍යාල පාලනය බාහිර පාර්ශ්වයකට පවරනවාද එම තත්ත්වය වෙනස් කර විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නව වාතාවරණයක් ඇති කරනවාද යන්න විශ්වවිද්‍යාල තුළින්ම තීරණය කළ යුතුයි.
පසුගියදා තමා කැලණිය විශ්වවිද්‍යාලයේ විවෘත කිරීමකට සහභාගි වන අවස්ථාවේ ඊට එරෙහිව සුළු පිරිසක් විරෝධතා දැක්වුවා. මා වෙත පැවරී තිබූ වගකීම සහ රාජකාරිය ඉටු කිරීම අතපසු නොකළ යුතුයි.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ රැසක් පිළිබඳ මෙහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරු අදහස් දැක්වූවා. දැනුම නිර්මාණය කිරීම, එම දැනුම බෙදා හැරීම සහ රටේ ජාතික අවශ්‍යතා ඉටු කිරීමත් විශ්වවිද්‍යාල ආචාර්වරුන් ඇතුළු බුද්ධිමතුන් සිදු කළා.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමෙන් වෙන් වූ ස්වාධීන අධ්‍යාපන ආයතන බවට විශ්වවිද්‍යාල පද්ධතිය පත් කිරීම, විශ්වවිද්‍යාලවලට අනන්‍ය වූ වර්තමාන ගෝලීය අවශ්‍යතාවයන්ට සරිලන තාක්ෂණයෙන් යුත් නව පාඨමාලාවන් හැදෑරීමට දෙස් විදෙස් සිසුන්ට අවස්ථාව ලබාදීම හා ඒ සඳහා අවශ්‍ය වටාපිටාව විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ස්ථාපිත කිරීම වැදගත්. එමෙන්ම විශ්වවිද්‍යාල පද්ධතිය පූර්ණ ප්‍රතිව්‍යුහගතකරණයකට ලක් කර ආර්ථික සංවර්ධනයට පුළුල් දායකත්වයක් ලබා දෙන ආයතන බවට පත් කළ යුතුයි.
මෙහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරු මතුකළ ප්‍රශ්නවලට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිතුරු ලබා දුන්නේය.
ප්‍රශ්නය
ව්‍යවසායකත්ව අධ්‍යාපනය පිළිබඳ ලෝකයේ බොහෝ රටවල ප්‍රමුඛ අවධානයක් යොමු කර තිබෙනවා. එබැවින් අප රට තුළ ද ව්‍යවසායකත්ව අධ්‍යාපනය අනිවාර්යය කිරීමට කටයුතු කරන ලෙස යෝජනා කරනවා.
පිළිතුර
විශ්වවිද්‍යාල විෂය මාලාවන් තුළ සිදු කළ යුතු ප්‍රායෝගික වෙනස්කම් පිළිබඳ මේ වන විට ආණ්ඩුවේ අවධානය යොමුව තිබෙන බව ප්‍රකාශ කිරීමට කැමතියි. ඒ සඳහා මේ වන විට කමිටු කිහිපයක්ම පත් කර තිබෙනවා. මෙහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ද විශාල වගකීමක් පැවරී තිබෙනවා.
ප්‍රශ්නය
විශ්වවිද්‍යාල අධ්‍යාපනය විධිමත් කිරීමට නම් රටේ නීතිය විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක වීම අවශ්‍යයි. ඒ සඳහා අවධානය යොමු කරන ලෙස ඉල්ලනවා.
පිළිතුර
එය තනිව ආණ්ඩුවට පමණක් කළ නොහැකියි. එය සියලු දෙනා එක්ව සිදු කළයුතු කාර්යයක්. නමුත් අනිත් අය නිශ්ශබ්දව සිටීම කනගාටුවට කරුණක්. 1980 දශකයේ ඇති වූ ක්‍රමය නිසයි මෙය සිදු වුණේ. නැවත වතාවක් අපට මෙම තත්ත්වයට යෑමට නොහැකියි. ඒ නිසා අලුත් රටට ගැළපෙන අලුත් අධ්‍යාපන ක්‍රමයක් අප කඩිනමින් ඇති කළ යුතුයි. විශ්වවිද්‍යාලයට සිසුවකු ඇතුළත් කර වසර හතරකින් උපාධිය ලබා ගැනීම පමණක් නොවෙයි විශ්වවිද්‍යාලය තුළ වාද විවාද කිරීමට ද අවස්ථාව තිබිය යුතුයි. අතීතයේ දේශපාලනඥයන් විශ්වවිද්‍යාලවලට පැමිණ සාකච්ඡා පැවැත්වූවා. අද එවැනි පරිසරයක් විශ්වවිද්‍යාල තුළ දකින්න නැහැ. අප නැවත ඒ තත්ත්වය ඇති කළ යුතුයි.
හිටපු ඇමැති අකිල විරාජ් කාරියවසම්, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආශු මාරසිංහ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ශිරෝමි අබයසිංහ