Home » වැයිහේනේ පඤ්ඤාලෝක නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය වොෂිංටන්හිදී

වැයිහේනේ පඤ්ඤාලෝක නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය වොෂිංටන්හිදී

by sachintha
March 27, 2024 1:02 am 0 comment

වසර 94ක් ආයු වලඳා අපවත් වූ කැනඩාවේ හා ගාල්ල ගඟබඩ පත්තුවේ ප්‍රධාන සංඝනායක, රාජකීය පණ්ඩිත වැයිහේනේ පඤ්ඤාලෝක හිමියන්ගේ ආදාහන පූජෝත්සවය වොෂින්ටනයට නුදුරු ගෙදර්ස්බර්ග් භාවනා මධ්‍යස්ථානයේදී ගෞරවනීය ලෙස සිදු කළ බව ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

වොෂින්ටන් ඩීසී විහාරාධිපති උතුරු අමෙරිකාවේ ප්‍රධාන සංඝනායක මහරගම ධම්මසිරි නාහිමි හා වතුලියද්දේ රතනසීහ හිමි, අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා හා තානාපති නිළධාරීන් මෙන්ම දායකයන් එම ආදාහන පූජෝත්සවය සංවිධානය කෙරිණි. ශ්‍රී ලංකාව හා රටවල් රැසක හිමිවරු හා අතිවිශාල සැදැහැවතුන් පිරිසක් එම අවස්ථාවට එක්ව තිබෙන අතර මතක වස්ත්‍ර පූජාව හා පැන් වැඩීමට තානාපති මහින්ද සමරසිංහ මහතා ද මහා සංඝරත්නය සමඟ එක්ව තිබේ. පිළිගැනීමේ කතාව වතුලිළියද්දේ රතනසීහ හිමි සිදු කළ අතර මල්වතු පාර්ශ්වයේ හා අමරපුර නිකායේ ශෝක පණිවිඩද එහිදී ඉදිරිපත් කර ඇත.

මහරගම ධම්මසිරි නාහිමි අනුශාසනාවක් කරමින්: “වයස 94ට වැඩි සේවයක් පඤ්ඤාලෝක මාහිමි බෞද්ධ ලෝකයට සිදු කළා. විදුහල්පති කෙනෙකු ලෙස දරුවන්ටත් සේවය කලා. වසර 60 ක මිත්‍රකමෙන් 36 ක් වොෂින්ටනයේ අපි එකටයි හිටියේ. මාහිමිගේ උගත්කම තීන්දු ගැනීමේ හැකියාව අපේ කටයුතු පහසු කළා“ යැයි පැවසූහ.

ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා කතා කරමින්: “පඤ්ඤාලෝක මාහිමි වචනයේ අර්ථයෙන්ම පරම පවිත්‍ර හිමිනමක්. ගාල්ලේ බද්දේගම වැයිහේනේ ඉපිද ඇසූපිරූ තැන් ඇතිව ආදර්ශමත් ජීවිතයක් නිමකලා. පවුලේ එකම දරුවා වුවද මහනදම් පිරීමට වාසනාවන්ත වී තිබෙනවා. උන්වහන්සේ ලෞකික සියල්ල අතහැර සිටි බව සනාථ වෙන කරුණු දෙකක් මම කියන්නම්. නායක හිමියන්ගේ මුදලක් යමෙකු අවභාවිතා කළ විට නීති මඟට යමුයි යෝජනා වී සුදු නීතීඥ කතක් ද ඊට සහායට ලබාදී තිබෙනවා. මාහිමි එය ප්‍රතික්ෂේප කළ විට නීතීඥ කත එම මුළු මුදලම ඇයගේ අතින් මාහිමිට ලබාදී තිබෙනවා. ‘මට මේවා පිළිකුල් නිසා ඔබලා මේ සල්ලි ගන්න‘ යැයි කියා මුදල් සියල්ල බෙදා දී තිබෙනවා. මුදල අවභාවිතා කළ අය එම මුදල යළි එවූ විට ද ‘මුදල් අවශ්‍ය ඔබට නිසා මේ මුදල් ඔබම තියාගන්නැයි‘ ඔහුටම යවා තිබෙනවා. තවද මාහිමිගේ මව බලාගත් කතට උන්වහන්සේ සතු සියලු දේ ලියාදීමටත් මාහිමි ක්‍රියා කර තිබෙනවා. උන්වහන්සේ සියල්ල අතහැර සිටි ආදර්ශවත් හා නිවන් දොරටුව අසල සිටින හිමිනමක බව මම විශ්වාස කරනවා“ යැයි ප්‍රකාශ කළේය.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT