Friday, May 9, 2025
Home » යල්පැනගිය චිත්‍රපට සංස්ථාවට නවීන තාක්ෂණය මුසු කර චිත්‍රපට-ටෙලිනාට්‍ය සංවර්ධන ආයතනයක් ලෙස ගොඩනඟනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

යල්පැනගිය චිත්‍රපට සංස්ථාවට නවීන තාක්ෂණය මුසු කර චිත්‍රපට-ටෙලිනාට්‍ය සංවර්ධන ආයතනයක් ලෙස ගොඩනඟනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

by sachintha
April 1, 2024 1:04 am 0 comment

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන, රයිගම් සමූහයේ අධිපති ආචාර්ය රවී ලියනගේ මහත්වරුන්, සම්මානිත මහාචාර්යවරුන් හා ප්‍රවීණ රංගවේදීන් ප්‍රමුඛ සම්භාවනීයයන් උලෙළට එක්ව සිටි අයුරු

යල් පැන ගිය චිත්‍රපට සංස්ථාව නවීන තාක්ෂණය සමඟ පරිවර්තනයකට ලක් කරමින් එය මෙරට චිත්‍රපට සහ ටෙලිනාට්‍ය සංවර්ධන ආයතනයක් ලෙස ගොඩනඟන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඒ සමඟම කලා ශිල්පීන් සහ නිර්මාණවේදීන් නවීන තාක්ෂණ දැනුමෙන් සවිබල ගැන්වීම සඳහා විදෙස් පුහුණු අවස්ථා සලසා දෙන බවද පැවසූ ජනාධිපතිවරයා නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යෑමට චිත්‍රපට සහ ටෙලිනාට්‍ය කලාවද සූදානම් කළ යුතු බව පෙන්වා දුන්නේය. ඔහු මේ අදහස් පළ කළේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පෙරේදා (30) පැවති 20 වැනි රයිගම් ටෙලීස් සම්මාන උලෙළ අමතමිනි.

ශ්‍රී ලංකාවේ කීර්තිමත් ව්‍යවසායකයකු වන ‘කිංඩම් ඔෆ් රයිගම්’ සමූහ ව්‍යාපාරයේ අධිපති ආචාර්ය රවී ලියනගේ මහතාගේ සංකල්පයක් මත රයිගම් ටෙලීස් මහලේකම් කාර්යාලය විසින් වාර්ෂිකව මේ සම්මාන උලෙළ සංවිධානය කරනු ලබයි. මෙවර 2023 වසරේ තිරගත ටෙලි නාට්‍ය, මාධ්‍ය වැඩසටහන් මෙන්ම රූපවාහිනී ප්‍රවෘත්ති වැඩසටහන් ආදි අංශවල විශිෂ්ටතා ඇගයීමට ලක් කරමින් කාණ්ඩ හතක් ඔස්සේ සම්මාන 60ට අධික ප්‍රමාණයක් පිරිනැමීම සිදු විය.

රයිගම් විශේෂ ප්‍රණාම සම්මාන ප්‍රදානයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් වූ අතර, අතුල රන්සිරිලාල්, ගිවන්ත අර්ථසාද් මහත්වරු සහ ග්‍රේස් තෙන්නකෝන් මහත්මිය එහිදී ජනාධිපතිවරයා අතින් සම්මාන ලැබූහ. එමෙන්ම ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන ‘රයිගම් ප්‍රතිභා ප්‍රභා’ ගෞරව සම්මානය ආචාර්ය රෝහණ වීරසිංහ මහතා වෙත පිරිනැමීමද ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර, වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා ලෙස ප්‍රවීණ රංගවේදි මහේන්ද්‍ර පෙරේරා මහතා සහ වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය ලෙස සේමිණී ඉද්දමල්ගොඩ මහත්මිය ජනපති අතින් සම්මානයට පාත්‍ර වූහ.

එමෙන්ම වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය මෙන්ම වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ලෙස ප්‍රසන්න ජයකොඩි මහතා අධ්‍යක්ෂණය කළ සහ වසන්ත කන්නංගර මහතා නිෂ්පාදනය කළ ‘එයා දැන් බැඳලා’ ටෙලි නාට්‍යය ජනාධිපතිවරයා අතින් සම්මානයට පාත්‍ර විය.

වසරේ සම්මානනීය මාධ්‍ය වැඩසටහන් නාළිකාව ලෙස හිරු ටීවී සහ සිරස ටීවී යන නාළිකා ද්විත්වය ජනාධිපතිවරයා අතින් සම සම්මාන හිමි කරගත් අතර, වසරේ සම්මානනීය ටෙලි නාට්‍ය නාළිකාව සහ වසරේ සම්මානනීය නාළිකාව යන සම්මාන ද්විත්වයම දිනාගත් ස්වාධීන රූපවාහිනි ආයතනයද ජනාධිපතිවරයා අතින් සම්මානයෙන් පිදුම් ලැබීය.

සම්මාන උලෙළ ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය:

“පසුගිය විසි වසරේ රූපවාහිනී ක්ෂේත්‍රයේ දැවැන්ත විප්ලවයක් සිදුව තිබෙනවා. ජංගම දුරකතනය, ලැප්ටොප් පරිගණකය සමඟ අද රූපවාහිනිය අභියෝගයකට ලක්ව තිබෙනවා. අද නෙට්ෆ්ලික්ස්, ඇමසන් සමඟ ලෝකය ඉදිරියට යනවා. අපත් මේ සමඟ ඉදිරියට යා යුතුයි. අද අනෙකුත් රටවල් භාෂා ගණනාවකින් චිත්‍රපට නිර්මාණය කරනවා. ග්‍රීසිය වැනි කුඩා රටවලද එය සිදු වනවා. අපත් ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි.

“ඒ නිසා යල්පැනගිය චිත්‍රපට සංස්ථාව නවීකරණය කර, චිත්‍රපට සහ ටෙලි නාට්‍ය සංවර්ධන ආයතනයක් බවට පරිවර්තනය කිරීම කෙරෙහි අපගේ අවධානය යොමුව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය දැනුම දීමට අප කටයුතු කරන බව කිව යුතුයි. රූපවාහිනිය ආරම්භ කරන විට විශාල පිරිසකට ජපානයේ පුහුණු අවස්ථා සලසා දුන්නා. ඒ යුගයේ ‘යශෝරාවය’ වැනි නව ටෙලි නාට්‍ය නිර්මාණය වීමට එය හේතු වුණා. අප නුදුරේදීම නැවත ඒ සඳහා කටයුතු කරන බවද මා මෙහිදී සිහිපත් කරනවා.

“ඒ වගේම කෘත්‍රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය පසුගිය වසරේ සිට චිත්‍රපට කලාවට එක්ව තිබෙනවා. ‘ද ෆ්‍රොස්ට්’ කෙටි චිත්‍රපටය නිර්මාණ කර තිබෙන්නේ AI තාක්ෂණයෙන්. ඒ චිත්‍රපටවල තිර පිටපත පවා සකස් කර තිබෙන්නෙත් AI තාක්ෂණයෙන්. ඒ වගේම ඉන්දියාව ‘මහාරාජා ඉන් ඩෙනිම්ස්’ නිර්මාණය කරමින් සිටිනවා. එය ශ්‍රී ලංකාවටත් එනවා. අපත් මීට සූදානම් විය යුතුයි.

“කෘත්‍රිම බුද්ධිය ලංකාවට හඳුන්වා දීම පිළිබඳ දැනට අප පත් කර තිබෙන කමිටුවට මා උපදෙස් දී තිබෙනවා. මොරටුව විශ්වවිද්‍යාලය සහ සෞන්දර්ය විශ්වවිද්‍යාලය සම්බන්ධ කරගනිමින් ශ්‍රී ලංකාවේ පළමු AI චිත්‍රපටය නිෂ්පාදනය කරන්න උපදෙස් දී තිබෙනවා. ඒ සඳහා රජයෙන් මුදල් පිරිනැමීමට කටයුතු කරන බව කිව යුතුයි.”

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, සම්මානිත මහාචාර්යවරුන් වන සුනිල් ආරියරත්න සහ ජේ. බී. දිසානායක මහත්වරුන් ප්‍රමුඛ විද්වතුන්, ප්‍රවීණ රංගනවේදිනී ස්වර්ණා මල්ලවාරච්චි මහත්මිය ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පී ශිල්පිනියන්, සංගීතඥයන්, ගායක ගායිකාවන්, චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT