ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් අනීතිකව ඉවත් කිරීම සම්බන්ධයෙන් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කළ ඇමැති, මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
කොළඹ, ඩාලි පාරේ එම පක්ෂ මූලස්ථානයේ දී පෙරේදා (30) පැවැති විශේෂ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ඒ මහතා මේ බව කීවේය.
හිටපු ජනාධිපතිවරයා විසින් ඇමැති මහින්ද අමරවීර, රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරු පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට ගනු ලැබූ තීරණය පිළිබඳ අදහස් දැක්වීමට මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.
එහි දී ඇමැති මහින්ද අමරවීර මහතා මෙසේ ද කීවේය.
හිටපු ජනාධිපතිවරයා රැස්වීම අවසානයේ දී යෝජනාවක් ගෙනාවා අපිව තනතුරුවලින් ඉවත් කරන්න. ඒකට හතරෙන් එකක්වත් අත ඉස්සුවේ නැහැ. අපි ඉල්ලීමක් කළා අපිට මේ ගැන අදහස් දක්වන්න ඉඩ දෙන්න කියලා. මේක සම්මත වුණා සේ සලකනවා කියලාත් සභාපතිවරයා කිව්වා. අපිට අදහස් ඉදිරිපත් කරන්න ඉඩක් දුන්නේ නැහැ. එතන හිටපු අය මේකට විරෝධය දැක්වූවා. ඒ හැමෝගෙම විරෝධය මැද්දෙ ඔහු එතනින් ගියා. මෙය සම්පූර්ණයෙන්ම නීති විරෝධි ඉවත් කිරීමක්. චෝදනාවක්වත් හරියට නැහැ. එතුමාගේ මේ දවස්වල හැසිරීම ගැන අපිට ප්‍රශ්නයක් තිබෙනවා. කියන කතාවල ගැටලු තිබෙනවා. යම් මානසික ප්‍රශ්නයක් හිටපු ජනාධිපතිවරයාට තිබෙන බව පේනවා. මේ අනීතික ඉවත් කිරීම සම්බන්ධයෙන් අපි නීතිමය කියාමාර්ග ගන්නවා යැයි කීවේය.
රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා,
මාව භාණ්ඩාගාරික තනතුරෙන් ඉවත් කරන්න ඉදිරිපත් කළ චෝදනාව සන්ධානය සකස් කිරීමේ දී හරියට කටයුතු කළේ නැහැ කියන එකයි. මේ සන්ධාන ගත වෙලා ඉන්න සියලු පක්ෂවලට තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා නායකත්ව මණ්ඩලයට ගන්න බැහැ කියන ප්‍රශ්නය විතරයි. ඒකට මට කරන්න දෙයක් නැහැ. අද කැඳවීම කරලා තිබ්බේ විශේෂ රැස්වීමක් සඳහාය. එවැනි විශේෂ රැස්වීමක දී මෙවැනි තීන්දු තීරණ ගන්න පුළුවන්කමක් නැහැ යැයි කීවේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා,
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නෙ තනි පුද්ගලයකුගේ තීන්දු තීරණ මත හෝ රෑට හිතෙන දේවල් උදේට කරන්න පුළුවන් පක්ෂයක් නොවෙයි. කාමරයක කතා කරන්න ඕනේ දේවල් අද එළියට ඇවිත් තිබෙනවා. අපි සමාව ඉල්ලනවා පාක්ෂිකයන්ගෙන් මේ ගැන. අපි කවුරුත් මේ පක්ෂයෙන් යන්නේ නැහැ. යන්න බලාපොරොත්තුවක්වත් නැහැ. අපිව එළවන්නත් බැහැ. අපි අපේ පක්ෂයේ ජනාධිපතිවරයකු පත් කර ගැනීමේ සිට ශ්‍රීලනීප ආණ්ඩුවක් දක්වා යන්න බලාපොරොත්තු වෙනවා යැයි කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ රැස්වීමක් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පෙරේදා (30) දා කැඳවා තිබූ අතර රැස්වීම අතරතුර එකවරම හිටපු ජනාධිපතිවරයා විසින් ඇමැති මහින්ද අමරවීර, රාජ්‍ය ඇමැති ලසන්න අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහත්වරු ඔවුන් දැරූ ජ්‍යෙෂ්ඨ උපසභාපති, භාණ්ඩාගාරික හා ජාතික සංවිධායක යන ධූරවලින් ඉවත් කිරීමට යෝජනාවක් ගෙනැවිත් ඔවුන් තනතුරුවලින් ඉවත් කරන බවට පවසා තිබේ.
හිටපු ජනාධිපතිවරයා කැඳවා තිබූ විශේෂ රැස්වීමේ දී පක්ෂයේ තනතුරුවලින් මොවුන් ඉවත් කිරීමෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨ උපසභාපති ධූරයට මධ්‍යම පළාත් හිටපු ප්‍රධාන ඇමැති, සරත් ඒකනායක, භාණ්ඩාගාරික ධුරයට හිටපු පළාත් සභා මන්ත්‍රී හෙක්ටර් බෙත්මගේ සහ ජාතික සංවිධායක ධූරයට මහියංගණය ආසන සංවිධායක කේ.පී. ගුණවර්ධන මහත්වරු පත් කර තිබිණි.
ශ්‍රීලනීප විශේෂ රැස්වීම ආරම්භයේදීම පක්ෂයේ මහ ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල තම පක්ෂය ජනාධිපතිවරණයට සූදානම් වුවත් පක්ෂයේ අභ්‍යන්තරයේ සිටින දෙපිටිකාට්ටු නිලධාරීන් නිසා ප්‍රශ්න ඇති වී තිබෙන බව පිළිගැනීමේ කතාව සිදු කරමින් පැවැසීය.
මෙම අවස්ථාවට ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාද සහභාගි වී ඇති අතර හිටපු ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත්තේ රටේ පවතින දේශපාලන තත්ත්වය හා පක්ෂය පිළිබඳවත් තොරතුරු දැන ගැනීමට ඇමැතිවරයාට ආරාධානා කළ බවයි. අනතුරුව හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ පක්ෂයේ ප්‍රතිපත්ති පාවා දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිනවීමට සහාය දෙන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ ඇමැති මහින්ද අමරවීර, රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහත්වරු යෝජනා කර තිබේ. එයට සභාව එකඟතාව පළ කර ඇති අතර ඇමැති නිමල් සිරිපාලද සිල්වා, මහින්ද අමරවීර හා ලසන්ත අලගියවන්න මහත්වරු ඊට එරෙහිව අත ඔසවා තිබේ.
ඒ අනුව එම තනතුරුවලින් ඉවත් කිරීමේදී හා අලුත් අය පත් කිරීමේ දී සභාවේ නොසන්සුන්කාරී තත්ත්වයක් මතු ව ඇති අතර හිටපු ජනාධිපතිවරයා සහ ඇමැති විජයදාස රාජපක්ෂ මහත්වරු එම තත්ත්වය තුළ රැස්වීම් පරිශ්‍රයෙන් පිටව ගියහ.
රට ගොඩ ගැනීමේ බලවේගය ඇත්තේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තුළ බැවින් ඒ පක්ෂයට රටේ බලය ගැනීමට හැකි ආකාරය ගැන දේශනයක් කළ බව ඇමැතිවරයා විශේෂ රැස්වීමෙන් අනතුරුව පිටව යන අවස්ථාවේ දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කීවේය.
ස්වර්ණා විජේකෝන්