Sunday, May 11, 2025
Home » දුෂ්කර ප්‍රදේශවල දරුවන්ට පාසල් එන්න ලැබුණු තෑග්ග

දුෂ්කර ප්‍රදේශවල දරුවන්ට පාසල් එන්න ලැබුණු තෑග්ග

by chanaka
April 1, 2024 1:45 pm 0 comment

දුෂ්කර ප්‍රදේශවල පාසල් දරුවන්ගේ දෛනික පාසල් පැමිණීම දිරිමත් කිරීමේ අරමුණින් සිසුන්ට අඛණ්ඩ ව පාසල් පැමිණීමේ අවස්ථාව සලසා දීම සඳහා ජපන් ‘චයිල්ෆන්ඩ්’ආයතනය මෙරටට පාපැදි 500ක ප්‍රදානයක් ලබා දී ඇත.

මෙම පාපැදි නිල වශයෙන් භාර දීම අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ්හි දී අද(01) පැවති අතර එම අවස්ථාවට මෙරට ජපන් තානාපති මිෂුකොෂි හයිදේකි (MIZUKOSHI Hadeaki) මහතා, ජපන් ‘චයිල්ඩ්ෆන්ඩ්’ ආයතනයේ නියෝජිත යුකෝ ඉෂාණ්ඩා (YUKO ISHANDA) හා ලංකා ‘චයිල්ඩ්ෆන්ඩ්’ ආයතනයේ ජාතික අධ්‍යක්ෂ ආදිති ගෝෂ් (ADITI GOSH) මහත්මිය යන අය සහභාගි වූහ.

මේ වන විටත් මෙරටට ලැබී ඇති මෙම පාපැදි තොගය ලබා දීම සඳහා මොණරාගල, පුත්තලම, මුලතිව් වැනි ප්‍රවාහන දුෂ්කරතා සහිත දිස්ත්‍රික්ක 12ක පාසල් 108කින් වයස අවුරුදු 12-16ත් අතර සුදුසු සිසු සිසුවියන් තෝරාගනු ලැබ ඇත.

නිවසේ සිට පාසලට අවම වශයෙන් කිලෝමීටර් දෙකහමාරක දුරක් පැමිණිය යුතු වීම මෙම පාපැදි ලබා දීමේ දී සලකා බැලු‍ණු ප්‍රධාන නිර්ණායකයකි. සිසුන්ගේ පවුල්වල ආර්ථික දුෂ්කරතා හා වෙනත් අපහසුතා ද මෙහි දී සැලකිල්ලට බඳුන් කර ඇත.

ශ්‍රී ලංකා ‘චයිල්ෆන්ඩ්’ ආයතනයේ ඉල්ලීම පරිදි මෙම ප්‍රදානය මෙරටට ලැබී ඇති අතර ජපන් තානාපති කාර්යාලයේ මැදිහත් වීම හා අධ්‍යාපන අමාත්‍යාංශයේ මාර්ගෝපදේශනය යටතේ විනිවිදභාවයකින් යුක්ත ව මෙම පාපැදි අදාළ සිසු-සිසුවියන්ට ප්‍රදානය කෙරේ.

මෙම පාපැදි කලාප අධ්‍යාපන කාර්යාල හරහා ශ්‍රී ලංකා ‘චයිල්ෆන්ඩ්’ආයතනය විසින් සිසුන් වෙත බෙදාහරිනු ලැබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT