අද අප්‍රේල් පළමුවෙනිදා කියා අලුතෙන් ඇඳෙන්නට දෙයක් අපට නැත. පාස්කු ප්‍රහාරය එල්ල කළේ කවුදැයි තමන්ට ළඟදී ආරංචි වූ බව කියමින් හිටපු ජනාධිපතිවරයෙක් වටේ ඇවිද යන්නේය. ඡන්දය සඳහා අපේක්ෂකත්වය වෙනුවෙන් ‘යායක්ම’ එළියට බැස ඇත. අවුරුද්ද කට ළඟට එන බැවින් බඩු මිල වැඩි කර ගැනීමේ අටියෙන් හිඟයන් මවා පෑම සඳහා පිරිසක් සූදානම්ය. ඔහොම වැඩ අතරේ අප අලුතෙන් අද උදය වරුවේ එකිනෙකා වෙත ලණු දී, රැවටිය යුතු නොවේ. අප සැවොම ගතවෙන මොහොතක් පාසා හොඳට ඇඳගෙන සිටින පිරිස් වන්නාහ.
ඒවා පොදුවේ සිදුවෙන ඇන්දිලි නිසා අප සැවොම ‘එක මිටට’ ඒ දේවල් සඳහා රැවටීම සිදු වන්නේය. එහෙම නොවී රැවටෙන දේ වැඩිය. ඒ කියන්නේ කේවල ආකාරයෙන් අප එක එකාගේ ලණු කෑමය. පිරමීඩ ජාවාරම්කාරයෙක් ඇවිත් ‘වැඩි පොලියක් ලබා දෙනවා’ කියූ සැණින් අපේ ඔළුව හතරැස් වන්නේය. රටේ දන්නා කියන සියලු දෙනා ඒ දෙයට ජාවාරමක් කියුවද, ළඟ නවා අතේ ඇති සියල්ල අර බහිරවයාගේ කටේ ඔබන්නේය. ඉන් පස්සේ මාසයක් දෙකක් අර යකා, සැරට පොලී ගෙවන හෙයින් අපි මේ වැඩේ වටේට ද බෙදාගෙන යන්නෙමු. තුන් මස ගත වෙන විට අර යෝධයා ‘ලොවෙත් නැත. ලොවි ගහෙත් නැත. ගහ වටෙත් නැත’. රැවටුණු සියල්ලෝ අම්මාමෝ නැතිව, ‘අපේ සල්ලි බේරා දියව්’ කියා, තනියෙන් නොව සමිති සමාගම් පිහිටුවාගෙන, ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණය කරන්නේය.
මෙයට මාස පහකට පමණ පෙර, ඇහැළියගොඩ පොලිසියේ ඕ.අයි.සී. මහතා සියදිවි හානි කර ගත්තේ, හිසට වෙඩි තබාගෙනය. රාජකාරි ගිනිඅවිය අතට ගෙන, ඔළුවේ පැත්තකට වෙඩි තබාගෙන හේ මළේ නිකං නොවේ. ඔය ගාණට පීඩනයක් මිනිහෙක්ට එනවා කියන්නේ සෙල්ලම් කේස් එකක් නොවේය. විශේෂයෙන්ම සියදිවි හානි කර ගන්නා ගාණට වැඩ සිද්ධ වෙන්නේ වුවද මිනිස්සු නොමැරී මැරි මැරී ජීවත්වීම සිරිතය. සමහරෙක් එහෙම මනසක නැත්තේය. වාවාගත නොහේ කල, මේ සමාජයේ ඇති දුර්වලම තේරීම සඳහා ඒ පුද්ගලයෝ පසු බසිති. ඇහැළියගොඩ ඕ.අයි.සී. එහෙම චරිතයකි. පොලිස් ස්ථානාධිපතිවරයා වෙඩි තබාගෙන මිය යෑමට පෙර ඔහුගේ ජංගම දුරකතනයට අවසන් වරට ඇමතුමක් ලැබී ඇත්තේ කාන්තාවකගෙනි. මේ ඔස්සේ හඹා ගිය පොලිසිය කරුණු රැසක් සොයා ගත්තේය.
කොහොමින් හෝ මේ කාන්තාව කොටු කර ගැනීමට සමත් වීමත් සමඟ පොලිසිය කාරණා රැසක් හෙළි කර ගත්තේය. මේ කාන්තාව වැඩේ සිද්ධ කරන්නේ ෆෝන් එකෙනි. තමන්ට තර්ජන ඇතැයි පවසමින් පොලිසියේ ලොක්කෙක් වෙත කෝල් එකක් දී, හිතවත්කමක් ගොඩනඟා ගැනීම, රැවටීමේ පළමු පියවරය. ඊළඟට වල්පල් දෙඩවීමය. ගැහැනුන්ගේ හඬ ඇසෙන විට, රූපය දකින විට, තමන්ගේ සියලු තරාතිරම් පඩියෙන් පහළට වට්ටා ගන්නා සෙට් එකක් මේ රටේ සිටිති. ‘මුහුණ කෑවත් කමක් නැහැ; ගැහැනු මදුරුවෙක් නම්’ යන ආදර්ශ පාඨය අනුව කටයුතු කරන මේ පාත්‍ර වර්ගයා, නිතර දෙවේලේ සිහින දකින්නේ තුන් වෙනි සිල් පදය කඩ කිරීම සඳහාය. මේ කාන්තාව, අර ජාතියේ සිවිල් හයි හත්තිය ඇති අය, මේ ‘හනි ට්‍රැප්’ එකේ පටලවා ගන්නේය. වැඩේ යන්නේ ෆෝන් එකෙනි. මෙලෝ විලි සංගයක් නැතිව, එහා කොනේ සිට රඟන එකා සිතන්නේ, වැඩේ ජෙනුයින් කියාය. මෙහා කොනේ මම හිනැහේ – එහා කොනේ ඔබ සතුටේ’ කියා මේ වැඩේ දිගට කරගෙන යන විට, දෙකොන පත්තු වෙන පණිවිඩයක් අර ෆෝන් එකටම ලැබෙන්නේය.
කුඩා දරුවෙක් සේ නිරුවතින් රැඟූ සියල්ල, අර කත, රෙකෝඩ් කර ගෙන ඇත. මේ වහ, හැමදාම කාගෙන සිටිය හැක්කක් නොවන හෙයින්, ඒ මිනිසා ද විකල්ප සොයා දිව යන්නේය. එවන් එක් තේරීමක් ලෙස ඇහැළියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ තේරීම ගත හැක්කේය.
වැඩේ කියන්නේ මේ කාන්තාව අන්දවා ඇත්තේ පොලිසියේ ඉහළ නිලධාරීන් වීමය. ඇන්දවූවා කිව්වාට, මේ ස්ථානයේදී නිවැරදි වචනය ‘ගලවා’ යන්නය. ඇඳගෙන සිටින තරු පටියේ සිට, රෝල් කරගෙන ඔහොම සංගයක් නැතිව නටනා සඳ, අපි යන්නේ ද ඒ පොලිසියට යැයි මතක් වෙන විට, අපිට විලි සංගයක් ඇති වේ.
දැන් ඒ කත ඇතුළේ නිසා, කිහිප දෙනෙක්ගේ ‘උපන් ඇඳුම’ බේරා ගැනීමට හැකිවනු ඇත. මේ ආකාරයේ ෆෝන් ප්‍රයාම ගණනාවකට කාන්තාවන් ලක්වූ කතා අප අසා ඇත්තේය, ‘විශ්වාසය, ආදරෙයි කියා…’ වැඩේ යන කල, මේ යකාගේ ඊළඟ සැලසුම කුමක්දැයි කවුරුත් සිතන්නේ නැත. නිළියෝ ගණනාවක් මේ අමාරුවේ වැටී, රටින් ද මාරුවී සිටිති. එහෙම අයගේ වීඩියෝ අන්තර්ජාලය, කාලයෙන් කාලයට කලඹා යන්නේය. ඔහොම හිට් වෙන සීන් සඳහා නොදැනී පෙනී සිටීම පිළිබඳව අප අනුකම්පා නොකරන්නේ, විනයක් ඇති මිනිසුන් ලෙස ජීවිතය පවත්වාගෙන යා නොහේ නම්, ඔය වැනි පත්තුවීම් ෂුවර් බව, තෙමේ දත යුත්තේ බැවිනි.
අද ලෝක රැවටෙන්නන්ගේ දිනය හෙයින්, හීනියට කාට හෝ ලණුවක් දී සතුටු විය හැකිය. සැබෑවටම එහෙම ලණු, ලොකුවට නොකන තැනට අප පත්වීම ගැන ද අද දවසේ සිතා බැලිය යුතුව ඇත.