Saturday, May 10, 2025
Home » විදෙස් ගමන් බලපත්‍ර නඩුවෙන් විමල් නිදහස්

විදෙස් ගමන් බලපත්‍ර නඩුවෙන් විමල් නිදහස්

by chanaka
April 1, 2024 12:24 pm 0 comment

විදේශ ගමන් බලපත්‍ර නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නිදොස් කොට නිදහස් කොට තිබේ.

ඒ මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගයක් මතය.

2015 වසරේ ඔක්තොම්බර් 13 වන දින අක්‍රීය ගමන් බලපත්‍රයකින් විදේශ ගත වීමට උත්සාහ කර ආගමන විගමන පනත උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.

මන්ත්‍රීවරයා එම අක්‍රීය ගමන් බලපත්‍රය ප්‍රධාන කාර්යාලයට ඉදිරිපත් කර පසුදින නව ගුමන් ගමන් බල පත්‍රයක් ලබාගෙන ඇත. ඉන් පසුව පසුදින උදෑසන නව සක්‍රීය ගුවන් ගමන් බලපත්‍රයත් සමග වලංගු විසා පවතින අක්‍රීය ගුවන් ගමන් බලපත්‍රයත් රැගෙන නැවතත් ගුවන් තොටුපොළට පැමිණ ඇත. ඒ අවස්ථාවේදී ආගමන විගමන නිලධාරීන් විසින් මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගෙන ඇත.

විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පුනා පුනා ප්‍රශ්න කළේ, අක්‍රීය ගුවන් ගමන් බලපත්‍රයක් රැගෙන පැමිණීම අපරාධමය වරදක් නම්, පළමු අවස්ථාවේදීම අත්අඩංගුවට නොගත්තේ ඇයිද, යන්නයි.

එමෙන්ම මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් විසින් මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම පනත යටතේ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් තොරතුරු ඉල්ලීමක් ද සිදු කර තිබුණු අතර එහිදී ද ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබුණේ, අක්‍රීය ගුවන් ගමන් බලපත්‍රයක පවතින වලංගු විසා භාවිතා කර සක්‍රීය ගුවන් ගමන් බලපත්‍රයක් මගින් විදේශගත වීමට හැකියාවක් පවතින බවයි.එමෙන්ම මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ ගමන් බලපත්‍රය අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර හෝ ව්‍යාජව සැකසූ එකක් නොවන බවත් ආගමන විගමන නිලධාරීන් සාක්ෂි ලබා දෙමින් පිළිගන්නා ලදී.

එමෙන්ම නඩු පැවරීම සඳහා අනුමැතිය පවරා තිබුණේ සහකාර පොලිස් අධිකාරීවරයෙකි. නමුත් අනුමැති පත්‍රයේ සඳහන් කර තිබෙන ආගමන විගමන පනතේ වගන්ති අනුව සහකාර පොලිස් අධිකාරීවරයාට අනුමැතිය ලබා දීමට බලයක් නොමැති වූ අතර අනුමැතිය දිය යුතුව තිබුණේ ආගමන විගමන පාලකවරයාය.

ඒ අනුව විත්තිකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් ඉල්ලා සිටියේ මෙම කරුණු සියල්ලම සැලකිල්ලට ගෙන විත්තිය නොකැඳවාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව නිදොස් කොට නිදහස් කරන ලෙසයි.

එම ඉල්ලීම සළකා බැලූ මීගමුව මහේස්ත්‍රාත්වරයා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නිදොස් කොට නිදහස් කරන ලදී.

විත්තිය වෙනුවෙන්, නීතිඥ සජීව මීගහවත්ත, ප්‍රශාන් වික්‍රමරත්න, විනෙශ්කා මෙන්ඩිස්, තිළිණි පෙරේරා සමග ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පෙනී සිටින ලදී.

 

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT