Thursday, May 15, 2025
Home » වේරගංතොට මහවැලි පාලමෙන් ගඟට පැන්න තරුණිය මානසික ආබාධයකින් පෙළුණු අයෙක් – මවුපියෝ පවසති

වේරගංතොට මහවැලි පාලමෙන් ගඟට පැන්න තරුණිය මානසික ආබාධයකින් පෙළුණු අයෙක් – මවුපියෝ පවසති

by sachintha
April 1, 2024 1:08 am 0 comment

මහියංගණ, මහනුවර ඒ 26 මාර්ගයේ මහවැලි ගඟ හරහා ඇති වේරගංතොට මහවැලි පාලමෙන් පසුගිය 29 වැනි දින රාත්‍රී 7.00ට පමණ තරුණියක් ගඟට පැනීමත් සමඟ තරුණයන් පිරිසක් මැදිහත්ව ඇයව බේරාගෙන කඩිනමින් ප්‍රතිකාර සඳහා මහියංගණ මූලික රෝහලට ඇතුළත් කර ඇත.

මේ කාන්තාව පාලමේ කොන්ක්‍රීට් වැට උඩ නැඟ ගඟට පැනීමට සූදානම් වන බව දැක ඇති තරුණයන් පිරිසක් ඇය අල්ලා ගැනීමට දිව යද්දී එකවර ඇය ගඟට පැන ඇත. එම අවස්ථාවේ ඇය කඩිනමින් රෝහල්ගත කිරීමට මහියංගණ පොලිසියට අයත් සුවසැරිය ගිලන් රථය සහ හසලක පොලිසියට අයත් සුවසැරිය ගිලන්රථය ගෙන්වා ගැනීමට උත්සාහ ගත්තද ඒවා ප්‍රමාද වූ බැවින් ත්‍රිරෝද රථයකින් මහියංගණ මූලික රෝහලට ගෙන ගොස් ඇත.

තරුණිය පැමිණි පාපැදිය සහ ඇයගේ ජංගම දුරකථනය පාලම මත තිබී හමු වී ඇත. මහියංගණ පොලිසියේ නිලධාරීන් පැමිණ ජංගම දුරකතනයේ අංක පරීක්ෂා කර ඇයගේ මව්පියන්ට මේ පිළිබඳව දැනුම් දී ඇත.

ඇය මිණිපේ, 31 ඇළ ප්‍රදේශයේ පදිංචි මානසික ආබාධයකින් පෙළෙන තරුණියක් බවත් මේ පිළිබඳව හසලක පොලිසිය දන්නා බවත් ඇයගේ මවුපියන් පවසා තිබේ. තරුණියගේ එක් අතකට හානි සිදුව ඇති අතර, ඇය වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ මහියංගණය මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු මහියංගණය පොලිස‍ියේ නිලධාරීන් විසින් සිදු කරනු ලැබේ. පාපැදිය සහ ජංගම දුරකතනය හසලක පොලිසියට භාර දී තිබේ.

 

මාපාකඩවැව සමූහ එච්. එම්. රංජිත් කරුණාවීර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT