Sunday, May 11, 2025
Home » මහරගම නන්ද නාහිමිපාණන් වහන්සේට උපාධ්‍යාය පදවිය සහ ප්‍රධාන සංඝනායක පදවියක්

මහරගම නන්ද නාහිමිපාණන් වහන්සේට උපාධ්‍යාය පදවිය සහ ප්‍රධාන සංඝනායක පදවියක්

by sachintha
April 1, 2024 1:03 am 0 comment

කොල්ලුපිටියේ වාලුකාරාම මහා විහාරය ඇතුළු පංචමහා විහාරාධිපති මහරගම නන්ද නාහිමිපාණන් වහන්සේට ස්‍යාමෝපාලිවංශික මහානිකායේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ රත්මලාන විහාර පාර්ශ්වයේ උතුම් උපාධ්‍යාය පදවිය හා කොළඹ දිසාව සහිත ඌව පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් මහරගම, නාවින්න ඉසිපතනාරාම විහාරස්ථානයේදී පසුගිය 29 දා පැවැත්විණි.

උගත් වියත් මහා යතිවරයාණන් වහන්සේ නමක වන මහරගම නන්ද හිමි ඉටු කරන ශාසනික සහ සමාජීය මෙහෙවර අගයමින් මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රි කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ රත්මලාන විහාර පාර්ශ්වය විසින් මේ අභිනව ධුරය උන් වහන්සේ වෙත පිරිනමා තිබේ. ඊට අදාළ සන්නස් පත්‍රය පිළිගැන්වීම සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහනාහිමිපාණන් වහන්සේ විසින් සිදු කරන ලද අතර, විජිනිපත පිළිගැන්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.

මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ අනුනායක, ආචාර්ය නියංගොඩ විජිතසිරි නාහිමිපාණන් වහන්සේ පුණ්‍යෝත්සවයේදී විශේෂ අනුශාසනාවක් සිදු කළහ. මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ අනුනායක ආනමඩුවේ ධම්මදස්සි අනුනාහිමි, මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරි, ඓතිහාසික සෝමාවතී චෛත්‍යාරාමාධිපති පහමුණේ සුමංගල හිමි, මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහානිකායේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ මහානායක මල්වානේ පඤ්ඤාසාර මහනාහිමි, උඩරට අමරපුර මහනිකායේ වැඩබලන මහානායක පූජ්‍ය නිකපොත චන්දජොති මහනාහිමි, රත්මලානේ පරමධම්මචේතිය පිරිවෙන් කෘත්‍යාධිකාරි මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහානිකායේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරි ආචාර්ය මාඉටිපේ විමලසාර හිමි, පූජ්‍ය උඩවෙල කෝලිත හිමි ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නයද, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩික්සන් ජේ. පෙරේරා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහත්වරුන්, දායක සභාවේ සාමාජිකයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ශිරෝමි අබයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT