Home » කොටි කරදරෙන් පාරේ යන්නත් බැරි වෙලා

කොටි කරදරෙන් පාරේ යන්නත් බැරි වෙලා

by sachintha
April 1, 2024 1:46 am 0 comment

බුත්තල නගරයේ සිට හෙලගම හරහා ඔක්කම්පිටිය දක්වා ඇති කාපට් මාර්ගයේ 1 කිලෝමීටර කණුව ආසන්නයේ සිට 3 වැනි කිලෝමීටර් කණුව අතර සීමාවේ සිටින කොටියකු හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා යතුරුපැදිකරුවෝ භීතියට පත්ව සිටිති.

දැනට මාසයකට ආසන්න කාලයක සිට මෙම කොටියා එම මාර්ගය අයිනේ ගැවසෙන බවත් ඇතැම් යතුරුපැදිවලට පනින බවත් එම සීමාවේ නිතර ගැවසුණු සුනඛයින් විශාල ගණනක් අතරුදහන් වී ඇති බවත් පවසන ගම්වාසීහු ඒ නිසා මෙම මාර්ගය ප්‍රයෝජනයට ගන්නා බොහෝ පිරිසක් සවස හයෙන් හතෙන් පසු මෙම මාර්ගයේ යතුරුපැදි හා පාපැදිවල ගමන්බිමන් සීමා කර ඇති බවත් හා පයින් ගමන් කිරීමෙන් වැළකී සිටීමට පුරුදු වී ඇති බවත් කියා සිටිති. මෙම අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් වනජීවි නිලධාරීන්ට කළ දැනුම් දීමකට අනුව ඔවුන් පැමිණි රක්ෂිතයේ ස්ථාන කිහිපයක වදුල් සහිත තැන්වල බැද්ද කපා දමා එළි පෙහෙළි කර තිබේ. මේ අතර එම අවදානමෙන් ආරක්ෂා වීම සඳහා කොටියා යාල කැලයට පලවා හැරීමක් හෝ අල්ලා ඉවත් කිරීමක් සිදු කරන ලෙස ඉල්ලා ලිපියක්ද වනජිවී නිලධාරීන්ට ලබා දී තිබේ.

තර්ජනය තවමත් අඩු වී නොමැති බැවින් වහාම මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ගම්වාසීන්ගේ මෙන්ම මඟී ජනතාවගේ ආරක්ෂාව සැලසීමට කටයුතු කළ යුතු බවත් ගම්වාසීහු පෙන්වා දෙති.

 

වැල්ලවාය විශේෂ ජී. අයි. ආර්. ගරුසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT