දිවයිනේ ප්‍රධාන පෙළේ විදුලි උපකරණ අලෙවි ප්‍රදර්ශනාගාරයකින් රු. ලක්ෂ 67කට අධික වටිනාකමකින් යුත් විදුලි උපකරණ, ව්‍යාජ ලිපි ලේඛන හා නිල මුද්‍රා යොදා වංචා සහගතව සොරාගත් එම ආයතනයේම පිළියන්දල ගබඩාවේ ප්‍රධාන අලෙවි විධායක නිලධාරියකු වන පුද්ගලයකුව, බෙල්ලන්විල යොවුන් මාවතේදී දෙහිවල පොලිසියේ අපරාධ විමර්ශන අංශය පසුගිය 29 වෙනිදා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පැවසීය.
සැකකරු බෙල්ලන්විල, යොවුන් මාවත පදිංචිව සිටින 25 හැවිරිදි පුද්ගලයකු වන අතර, දිවයිනේ ප්‍රධාන පෙළේ විදුලි උපකරණ අලෙවි ප්‍රදර්ශනාගාරයක පිළියන්දල ශාඛාවේ ප්‍රධාන අලෙවි විධායක නිලධාරියා වශයෙන් කටයුතු කරමින් මෙම වංචාව සිදුකර ඇති බව හෙළි වී තිබේ.
සැකකරු එම ආයතනයේම අලෙවි විධායක ලෙස කටයුතු කරමින් වෙනත් ආයතනවලින් එවන ලෙස ලබාදෙන ඇණවුම් මඟින් එම ආයතනයට වංචා කරමින් ව්‍යාජ ලෙස සකස් කළ ඉන්වොයිස් හා නිල මුද්‍රා මඟින් ආයතනයේ ලොරි රථවලින් පිටතට ගන්නා විදුලි උපකරණ, වෙනත් වාහන යොදාගෙන ඇඹිලිපිටිය, මාදම්පේ හා කොළඹ ප්‍රදේශයේ විදුලි උපකරණ ආයතනවලට අලෙවි කර තිබේ. විදුලි උපකරණවලින් කොටසක් හා ඉතා වටිනා ජංගම දුරකථන 26ක්, අගල් 55 දක්වා වන විවිධ ප්‍රමාණයේ එල්.ඊ.ඩි. ටීවී 26ක්, සීලින් ෆෑන් 18ක්, ස්ටෑන්ඩ් වර්ගයේ ෆෑන්, බ්ලෙන්ඩර්, ගෑස් ලිප්, විශාල ශීතකරණ ඇතුළු උපකරණ තොගයක් සිදු කළ විමර්ශනයට අනුව බෙල්ලන්විල ඔහුගේ නිවසේ ගබඩා කර තිබියදී පොලිස් භාරයට ගැනීමට හැකි වී ඇත.
වැඩිදුර පරීක්ෂණ කටයුතු ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණ මහතාගේ අධීක්ෂණය යටතේ, ගල්කිස්ස කොට්ඨාස භාර පොලිස් අධිකාරී රොහාන් පුෂ්පකුමාර මහතාගේ උපදෙස් මත, දෙහිවල පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරාධ හේරත් මහතාගේ මෙහෙයවීමෙන්, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.එල්.ඒ එස්.යූ.කේ. ලියනආරච්චි මහතාගේ මෙහෙයවීම මත, පො.සැ (4507) බණ්ඩාර, පොලිස් කොස්තාපල්වරුන් වන (77154) තෙන්නකෝන්, (90027) විතාරණ, (91860) චාමර, (94018) තාරක යන නිලධාරීන් විසින් සිදු කරගෙන යනු ලබයි.
දෙහිවල – ඩී.පී. හේරත්