රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ග අත්හිටුවීමට ඉල්ලා සිටිමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සමක් නිසා තමා ඇතුළු මන්ත්‍රීවරුන් 225 දෙනාගේම වරප්‍රසාද කඩවී ඇතැයි පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ලලිත් වර්ණ කුමාර මහතා පාර්ලිමේන්තුවට වරප්‍රසාද ප්‍රශ්නයක් ඊයේ (1) ඉදිරිපත් කළේය.
මෙම පෙත්සම මඟින් උත්සාහ කරන්නේ පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලය අධිකරණය හරහා සොරකම් කිරීමටදැයි බරපතළ සැකයක් පැන නගින බව ද මන්ත්‍රීවරයා කීය.
එහි දී මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.
“ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි ව්‍යවස්ථාවප්‍රකාරව රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු වේ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම සඳහා කළ යුතු කාර්යයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී විවිධ අවස්ථාවලදී සාකච්ඡා කර තීරණ ගෙන තිබෙනවා. රාජ්‍ය ආදායම එකතු කර ගන්නා ප්‍රධානතම රාජ්‍ය ආයතන තුන වන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව හා සුරාබදු දෙපාර්තමේන්තුවයි. 2024 වර්ෂයේ ඉලක්කගත ආදායම වනුයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා රුපියල් බිලියන 2024ක් ද, ශ්‍රී ලංකා රේගුව හරහා රුපියල් බිලියන 1533ක් ද, සුරාබදු දෙපාර්තමේන්තුව මඟින් රුපියල් බිලියන 232ක් ද වෙනවා. මෙම ඉලක්කගත ආදායම එකතු කර ගැනීම සහ ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ මුදල්, ක්‍රම සහ විධි කාරක සභා මඟින් ද ආර්ථිකය සම්බන්ධ අනෙකුත් අධීක්ෂණ කාරක සභා මඟින් ද සිදු කරනු ලබනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා හා සමාලෝචනයන් හරහා ද රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම සඳහා ආර්ථික ක්‍රියාමාර්ග ගතයුතු බව නිර්දේශ කර තිබෙනවා. මෙම ඉදිරිපත් කර ඇති පෙත්සම මඟින් කෙළින්ම රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග අත්හිටුවීමට ඉල්ලා තිබෙනවා. රජයේ බදු ප්‍රතිපත්තිය මත සෘජු බදු වැඩිකර ගැනීම සඳහා සුරාබදු හා අලුතින් ලබාගන්නා බලපත්‍ර සඳහා වන ගාස්තු ද ඉහළ දමා තිබේ. මෙම පෙත්සම මඟින් උත්සාහ කරන්නේ පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලය අධිකරණය හරහා සොරකම් කිරීමටදැයි බරපතළ සැකයක් පැන නගී. මෙම පෙත්සම්කරුවන්ගෙන් දෙදෙනකු දැනටමත් සුරාසල් පවත්වාගෙන යන දෙදෙනකු වන අතර, ඔවුන්ගේ අවශ්‍යතාව නව යෝජනා ක්‍රම හරහා ඉහළ යන සුරාබදු නවතා ගැනීම මඟින් රාජ්‍ය ආදායම අඩුකිරීමට කරනු ලබන ක්‍රමන්ත්‍රණයක් ද යන්න ගැන බරපතළ සැකයක් වෙයි. මෙම පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින්නන් පසුගිය කාලයේ දී ද පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලය අධිකරණය හරහා සොරකම් කිරීමට උත්සාහ ගනු ලැබුවා. මෙය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් මා ඇතුළු 225 දෙනාගේම වරප්‍රසාද කඩකිරීමක්.
එබැවින් ඔබතුමාගෙන් මම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තුව රැස්වන ඉදිරි පළමු දිනයේදීම සභාව හමුවේ මෙම වරප්‍රසාද ප්රශ්නය මතු කිරීමට මා වෙත අවස්ථාව ලබා දෙන ලෙසයි. එමෙන්ම මෙකී වරප්‍රසාද ප්රශ්නය පාර්ලිමේන්තුවේ ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව වෙත යොමුකර සුදුසු විමර්ශනයන් සඳහා තරාතිරම නොබලා ඔවුන් කැඳවන ලෙසත් පවතින නීති ප්‍රකාරව කටයුතු කරන ලෙසයි.”
මෙහි දී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් පියතිස්ස මහතා,
“රාජ්‍ය ආදායම් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායකය විසින් අනුමත කරගන්නා ලද ක්‍රමවේද, අනුමත කරගෙන ඇති ක්‍රියාමාර්ග ආදියට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට හෝ වෙනයම් පුද්ගලයකුට අධිකරණයට ගොස් අභියෝග කළ හැකි ද යන්න සම්බන්ධයෙන් පැහැදිලි කරදෙන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටිනවා. රාජ්‍ය පාලන තන්ත්රය ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යන කුලුනු තුන මත ක්‍රියාත්මක වෙනවා. එමෙන්ම අපගේ මූලික නීතියට අනුව හා ව්‍යවස්ථාවට අනුව මූල්‍ය වගකීම පැවරෙන්නේ ව්‍යවස්ථාදායකය වෙතයි. මූල්‍ය පාලනය සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායකය විසින් ගන්නාවූ තීන්දු තීරණවලට එරෙහිව අධිකරණයට යා හැකිදැයි විමසීමට කැමැතියි.”
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙහි දී පැවැසූයේ අදාළ වරප්‍රසාද ප්රශ්නය වරප්‍රසාද කමිටුවට යොමු කරන බවයි.